පාකිස්ථානය විසින් ලිබියාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක ට අධික වටිනාකමකින් යුත් අවි අලෙවි කිරීමේ ගිවිසුමකට එළැඹේ.
ඒ, අවි ගනුදෙනු සම්බන්ධයෙන් උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන ලිබියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ අවි ගනුදෙනු සම්බාධක ද නොතකමිනි. ඒ අනුව, ලිබියානු ජාතික හමුදාව වෙත එම අවි සම්පාදනය කෙරේ.
එය පාකිස්ථානය විසින් මෙතෙක් සිදු කරන ලද, ඉතිහාසයේ වැඩිම අවි ගනුදෙනුව ලෙසද සඳහන් ය. එරට හමුදා ප්‍රධානී, ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සහ ලිබියානු නියෝජ්‍ය හමුදා ප්‍රධානී, සදාම් ඛලීෆා හෆ්ටාර් අතර ගිවිසුම සම්බන්ධ අවසන් සාකච්ඡා ඉකුත් දා ලිබියාවේ බෙන්ඝාසි නුවර දී පැවැත්විණි. ගනුදෙනුව සම්බන්ධ සංවේදී භාවය හේතුවෙන්, ඊට සහභාගී වූ අනෙකුත් පිරිස් අනාවරණය කර නැත.
ගිවිසුමේ අවසන් කෙටුම්පතට පෙර පිටපතක් රොයිටර්ස් පුවත් සේවය වෙත ලැබී තිබේ. ඒ අනුව, JF-17 ප්‍රහාරක ජෙට් යානා 16ක්, පාකිස්ථානය සහ චීනය එක්ව නිෂ්පාදනය කරන ලද බහු-විධ ප්‍රහාරක යානයක්, මූලික නියමු පුහුණුව සඳහා යොදා ගැනෙන මුෂාක් පුහුණු යානයක් ලිබියාව විසින් මිලදී ගැනේ. එහි එන තවත් ඇතැම් අවි, භූමි, ගුවන් සහ නාවුක මෙහෙයුම් උදෙසා වේ. ගිවිසුම වසර දෙකහමාරක කාලයක් තුළ ක්‍රියාත්මක ය.
නැටෝ සහාය ලද 2011 ජන අරගලයකින් ලිබියාවේ මුඅම්මර් ගඩාෆි පාලනය අවසන් කෙරිණි. බලකාමී පිරිස් අතර රටේ පාලන බලය බිඳී ගිය අතර රට දිගු කාලීන අස්ථාවරත්ත්වයකට පත් විය. එවැනි පසුබිමෙක, නව අවි ගනුදෙනුව අර්බුදකාරීව පවතී.
සිය හමුදාව සහ පාකිස්ථාන හමුදාව අතර ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට ද එළැඹි බව, ලිබියානු ජාතික හමුදා මාධ්‍ය පසුගිය ඉරිදා (20) වාර්තා කළේය. අවි ගනුදෙනු, ඒකාබද්ධ පුහුණු වැඩසටහන් සහ හමුදාමය නිෂ්පාදන වැනි කරුණු රැසක් ඊට ඇතුළත් වේ.
පාකිස්ථානය හා නව අදියරක උපායමාර්ගික හමුදා සහයෝගිතාවක් දියත් කර ඇතැයි, හෆ්ටාර් පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය ලද, අගමැති අබ්දුල්හමීඩ් බෙයිබා (Abdulhamid Dbeibah) ගේ නායකත්වයෙන් යුත් ලිබියාවේ ජාතික ඒකග්‍රතා රජය, බටහිර ලිබියාවේ පාලන බලය හිමි කර සිටී. එහි නැගෙනහිර සහ දකුණු පෙදෙස් හි බලය ලිබියානු ජාතික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී, සදාම් ඛලීෆා හෆ්ටාර් සතුව පවතී. ලිබියාවේ ප්‍රධාන තෙල් ආකාර කිහිපයක් එහි පිහිටියේය. ඔහුගේ බල කලාපය තුළ බටහිර කලාප රජයේ අධිකාරීත්වය ප්‍රතික්ෂේපිත ය.
2011 වසරේ සිට ලිබියාවට, එක්සත් ජාතීන්ගේ අවි සම්බාධක පනවා තිබේ. ඒ අනුව, එරට විසින් සිදු කෙරෙන යම් අවි හෝ සන්නද්ධ උපකරණ හුවමාරුවකට පෙරාතුව එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලබා ගත යුතුවේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Pakistan strikes $4 billion deal to sell weapons to Libyan force, officials say

