ජෙනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමරිකාව ඉවත් වෙයි !

 ජෙනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමරිකාව ඉවත් වෙයි !

රටවල් 47 කින් සමන්විත  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට  ඇමෙරිකා එක්සත් ජනපදය තීන්දු  කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙයට හේතු වී ඇත්තේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ඒක පාක්‌ෂිකව කටයුතු කරන බවට ඇමරිකාව චෝදනා නැගීමය.

ඊශ්‍රායලය සම්බන්ධව මානව හිමිකම් කොමසාරිස්‌ කටයුතු කරන්නේ ඊශ්‍රායල් විරෝධී පිළිවෙතක්‌ බවටද ඇමරිකාවේ මතය වී ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියා කලාපය ගැන ඊශ්‍රායලයද දැඩි විරෝධතාවයක්‌ එල්ල කර තිබේ.

මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට ජිනීවා  පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපදය නිරන්තරයෙන් සඳහන් කළ අතර එසේ නොකළහොත් ඉන් ඉවත් වන බවට මීට පෙර අවස්ථා කිහිපයකදීම අවධාරණය කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල නිලධාරීන් අතර පසුගිය සතියේදී සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවත් ඇමෙරිකා එක්සත් ජනපද ඉල්ලීම් සපුරාලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල නිලධාරීන් අසමත් වී තිබෙන අතර ඒ හේතුවෙන් අදාළ සාකච්ඡා අසාර්ථක වී ඇති බවද එහි සඳහන්ය.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ට්‍රම්ප් පාලනය ආරම්භයේ සිටම ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු විවිධ සංවිධාන අතර අර්බුද ඇතිවූ බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කරමින් බරපතළ චෝදනා එල්ලකර ඇති බවය.

එසේම ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සංක්‍රමණික ප්‍රතිපත්ති හේතුවෙන් ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාවේදී දරුවන් මාපියන්ගෙන් වෙන් වීම ද ඉකුත් දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන්ගේ විවේචනයටද ලක්ව ඇති බවද එහි සඳහන්ය.

මීට පෙර ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපතිවරයාගේ ධුර කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදය වසර තුනක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වර්ජනය කල අතර ඇමෙරිකාව නැවත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක්වූයේ ජනාධිපති බැරැක් ඔබාමාගේ ධුර කාලයේදීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න