බෙලරුස් ජනරජයේ විදේශ අමාත්‍ය මැක්සිම් රයිෂෙන්කොව් ගේ ආරාධනය පරිදි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, 2026 මැයි 12වන දින සිට 15වන දින දක්වා බෙලරුස්හි නිල සංචාරයක නිරත වේ.
පසුගිය වසරේ දී, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 25 වැනි සංවත්සරය සැමරීමත් සමග මෙම සංචාරය, ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.
මින්ස්ක් වෙත කරන සංචාරයේ දී, අමාත්‍ය හේරත්, බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හමුවීමට නියමිත අතර, බෙලරුස් විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. අමාත්‍ය හේරත්, බෙලරුස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් ද හමුවීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී, බෙලරුස් ජනරජය සමඟ විවිධ අංශ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් සහ ගිවිසුම් කිහිපයක් අත්සන් කෙරෙනු ඇත.
මින්ස්ක්හි දී, අමාත්‍ය හේරත්, බෙලරුස් ජාතික අපනයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ව්‍යාපාරික සහ සංචාරක වටමේස රැස්වීමක් ඇමතීමට නියමිතය. ඔහු බෙලරුස් හි ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් ද හමු වනු ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
