Image

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය ලොවට තහවුරු කළ ඓතිහාසික සැත්කම

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය ලොවට තහවුරු කළ ඓතිහාසික සැත්කම

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත (ශික්ෂණ) ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම වෙත රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගෞරවය හා ප්‍රණාමය පුද කිරීම සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ඊයේ (14) එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

WhatsApp Image 2026 07 15 at 12.27.33 PM

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම චාරිකාවෙහි නිරත වූයේ: මෙරට සෞඛ්‍ය සේවාව සතු විශේෂඥ දැනුම, අතිනවීන වෛද්‍ය තාක්ෂණය, පර්යේෂණාත්මක ප්‍රවේශය, කැපවීම සහ බහුවිෂයීය කණ්ඩායම් සම්බන්ධීකරණයේ විශිෂ්ටත්වය ජාත්‍යන්තර වෛද්‍ය ක්ෂේත්‍රය ඉදිරියේ යළිත් තහවුරු කරමින්, ශ්‍රෝණි මේඛලාවෙන් (Pelvic Girdle) සම්බන්ධ වී උපන් බද්ධ නිවුන් දියණියන් දෙදෙනා සාර්ථකව වෙන් කිරීමේ අතිශය සංකීර්ණ හා ඓතිහාසික ශල්‍යකර්මය සිදුකළ එම රෝහලෙහි විශේෂිත (ශික්ෂණ) ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම වෙත රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගෞරවය හා ප්‍රණාමය පුද කිරීම සඳහා ය.

 

මෙරට නිදහස් සෞඛ්‍ය සේවා ඉතිහාසයේ රන් අකුරින් සටහන් වන සන්ධිස්ථානයක්

මෙහි දී මෙම ඓතිහාසික ශල්‍යකර්මයට නායකත්වය ලබාදුන් විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍ය මා තුළ හෙට්ටිආරච්චි ඇතුළු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, නිර්වින්දන විශේෂඥවරුන්, ළමා රෝග විශේෂඥවරුන්, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්, වකුගඩු බද්ධ කිරීමේ විශේෂඥවරුන්, විකිරණවේදීන්, හෙද නිලධාරීන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත බහුවිෂයීය කණ්ඩායම වෙත සිය ගෞරවය හා කෘතවේදීත්වය පළකළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම සුවිශේෂී ජයග්‍රහණය මෙරට නිදහස් සෞඛ්‍ය සේවා ඉතිහාසයේ රන් අකුරින් සටහන් වන සන්ධිස්ථානයක් බව අවධාරණය කළේ ය.

WhatsApp Image 2026 07 15 at 12.27.31 PM 1

2021 වසරේ මාවනැල්ල ප්‍රදේශයේ මවකගේ කුසින් සිසේරියන් සැත්කමක් මඟින් බිහි වූ මෙම බද්ධ නිවුන් දියණියන් දෙදෙනා ශ්‍රෝණි ප්‍රදේශයෙන් එකිනෙකාට සම්බන්ධව උපත ලබා තිබූ අතර, ඔවුන් ගේ අභ්‍යන්තර අවයව ද ඉතා සංකීර්ණ ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ වී තිබිණි. එක් දියණියකට පමණක් වකුගඩු දෙකක් පිහිටා තිබූ අතර අනෙක් දියණියට වකුගඩුවක් නොතිබීම හේතුවෙන්, ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා අදියරෙන් අදියර සැලසුම් කළ විශේෂඥ ප්‍රතිකාර ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස 2024 වසරේදී එක් දියණිය ගේ වකුගඩු දෙකෙන් එකක් සාර්ථකව අනෙක් දියණියට බද්ධ කිරීමේ අතිශය දුර්ලභ ශල්‍යකර්මය ශ්‍රී ලාංකීය විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසින් සිදු කරනු ලැබූ අතර, එවැනි වාර්තාවක් ලෝක වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට සටහන් වූ අවස්ථාවක් බව ද විශේෂඥයන් විසින් මෙහි දී පෙන්වා දෙන ලදී.

 

පැය දහයකට අධික කාලයක් පුරා පැවති අතිශය සංකීර්ණ ශල්‍යකර්මය

ඉන් අනතුරුව වසරකට ආසන්න කාලයක් දරුවන් ගේ වර්ධනය, වකුගඩු ක්‍රියාකාරීත්වය සහ සමස්ත සායනික තත්ත්වය ඉතා සමීපව අධීක්ෂණය කරමින් සියලු වෛද්‍ය නිර්ණායක සාර්ථක මට්ටමක පවතින බව තහවුරු කිරීමෙන් අනතුරුව, පසුගිය මස 10වන දින දියණියන් දෙදෙනා වෙන් කිරීමේ ප්‍රධාන ශල්‍යකර්මය සිදු කළේ ය.

පැය දහයකට අධික කාලයක් පුරා පැවති මෙම අතිශය සංකීර්ණ ශල්‍යකර්මය සහ පැය දාහතරකට ආසන්න කාලයක් පුරා සිදු කළ නිර්වින්දන කළමනාකරණය සාර්ථකව නිම කරමින් දියණියන් දෙදෙනා නිරුපද්‍රිතව වෙන් කිරීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සමත් වූ අතර, මෙම දැවැන්ත වෛද්‍ය මෙහෙයුම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනෙකු ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත බහුවිෂයීය කණ්ඩායමක් එක්ව කටයුතු කර ඇත.

 

මෙම ඓතිහාසික ශල්‍යකර්මය ජාතික ජයග්‍රහණයක්

WhatsApp Image 2026 07 15 at 12.27.32 PM

මෙහි දී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, මෙම ඓතිහාසික ශල්‍යකර්මයේ සාර්ථකත්වය දරුවන් දෙදෙනකු ගේ ජීවිත සුරක්ෂිත කළ වෛද්‍ය විශිෂ්ටත්වයේ සලකුණක් පමණක් නොව, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සතු විශේෂඥ දැනුම, නවීන වෛද්‍ය තාක්ෂණය භාවිත කිරීමේ හැකියාව, පර්යේෂණාත්මක ශක්තිය සහ විශේෂයෙන්ම සුව සත්කාරය සදහා කැපවූ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පතේ හැකියාවන් - දක්ෂතාවයන් ලොවට පෙන්වා දුන් ජාතික ජයග්‍රහණයක් බව පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේත්, වත්මන් රජයේත් ඉහළම ප්‍රශංසාව මෙම විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් සමස්ත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙත පිරිනමන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ සංකීර්ණ ශල්‍යකර්ම සහ අතිනවීන වෛද්‍ය ප්‍රතිකාර තවදුරටත් මෙරට තුළම සිදුකිරීම සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම්, නවීන තාක්ෂණය සහ මානව සම්පත් සංවර්ධනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අඛණ්ඩව පූර්ණ සහාය ලබාදෙන බව ද අවධාරණය කළේය.

සැත්කමෙන් අනතුරුව දියණියන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක ලෙස යහපත් අතට පත්වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍ය කණ්ඩායම මෙහි දී සඳහන් කළේ ය.

WhatsApp Image 2026 07 15 at 12.27.31 PM

 මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්වරුන්වන  විශේෂඥ වෛද්‍ය  කුමාර් වික්‍රමසිංහ, සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්වන විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න, විශේෂඥ වෛද්‍ය එස්. පී. ඒ. එල්. රණවීර, දිනිප්‍රිය හේරත්, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සරත් වීරබණ්ඩාර, යන අය මෙන් ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්              

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න