Image

දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත වෙළෙඳසැල් වටලයි

දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත වෙළෙඳසැල් වටලයි

දිවයින පුරා ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත වෙළෙඳසැල් රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හදිසි වැටලීමක් කර ඇත.

ඊයේ (20) මෙම වැටලීම සිදුකර ඇති අතර එහි දී වෙළෙඳසැල් 112ක් එම අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත.

මහජනතාව සහ මගීන් නිරන්තරයෙන් ගැවසෙන ප්‍රවාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුවන අසාධාරණ වෙළෙඳ අක්‍රමිකතාවලින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම මෙම විශේෂ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

මෙම වැටලීම්වල දී නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බීමවර්ග, කෙටි ආහාර සහ ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම, බේකරි නිෂ්පාදන, අනෙකුත් ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩවල මිල පාරිභෝගිකයාට පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රදර්ශනය නොකිරීම ඇසුරුම් කළ භාණ්ඩවල නිෂ්පාදන දිනය, කල් ඉකුත්වීමේ දිනය, කාණ්ඩ අංකය සහ නිෂ්පාදකයා ගේ නම හා ලිපිනය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු සඳහන් නොකිරීම සහ කල් ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම ඇතුළු වැරදි රැසක් අනාවරණය කරගෙන ඇත.

මෙම වැරදි සිදුකළ වෙළෙඳසල් සහ ආපනශාලාවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ ප්‍රතිපාදන අනුව අදාළ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරිමට කටයුතු යොදා ඇති බවද එම අධිකාරිය සඳහන් කළේ ය.

අධිකාරිය පැවසුවේ මගී ජනතාවට නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන සහ ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය ලබාදෙන වෙළෙඳුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ය.

එමෙන්ම මෙවැනි වැටලීම් ඉදිරියේ දී ද දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසී ය. තව ද මෙවැනි අසාධාරණ වෙළෙඳ අක්‍රමිකතා සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 පැමිණිලි ඒකකය වෙත කාර්යාල වේලාව තුළ දී තොරතුරු ලබා දෙන ලෙසත් එම අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලීමක්ද කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න