ශ්‍රී ලංකීය දේශපාලන අම්බරයේ දැවැන්තම මෙන් ම වඩාත්ම මතභේදාත්මක හැරවුම් ලක්ෂ්‍යය ලෙයින්, කඳුළෙන් සහ අසීමිත කැපකිරීමෙන් සලකුණු කළ අසමසම විප්ලවවාදියා රෝහණ විජේවීරයන් ය. පීඩිත පන්තියේ අයිතිය උදෙසා ජනතා හදවත් තුළ නොනිවෙන ගිනිදැල් දැල්වූ ඒ අභීත කථිකයා ගේ ජීවන චාරිකාව, ලාංකීය වේදිකා ඉතිහාසය උඩුයටිකුරු කරමින් "විමුක්තියේ නියමුවා" නම් වූ නාට්‍යය වේදිකාගත කිරීම නියමිත ය.
1971 සහ 88/89 කැරලිවලට නායකත්වය දුන් සටන් සඟයන්ගේ ලෙයින් පැවත එන නව පරපුරේ රංගන ශිල්පීන් සජීවීව පෙළගැසෙන, මුළු රට ම කම්පනය කරවන මේ අසදෘශ්‍ය නාට්‍යමය අත්දැකීම ප්‍රේක්ෂක හදවත් වෙනස්ම මාවතකට ගෙන යනු නියත ය.
පීඩිත පන්තියේ විමුක්තිය උදෙසා ජනතා හදවත් තුළ විප්ලවයේ ගිනිදැල් දැල්වූ ඒ යුගයේ නියමුවාගේ සහ දේශපාලන සංකේතයේ අභීත ජීවන චාරිකාව රැගත් "විමුක්තියේ නියමුවා" නාට්‍යය අගෝස්තු 30 වන දින පස්වරු 7.00 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී රංගගත වේ.
මෙම නිර්මාණයේ ඇති විශේෂත්ම සහ බලගතුම ලක්ෂණය වන්නේ එහි රංගන සාමුහිකයයි. 1971 කැරැල්ලට සහ 88/89 භීෂණයට නායකත්වය දුන් සටන් සගයින්ගේ පරම්පරාවලින් පැවත එන අපේ කාලයේ යෞවනයින් සහ ප්‍රවීණයින් එකම වේදිකාවක දී විජේවීරයන්ගේ ළමා, තරුණ සහ නායකත්ව අවධි ප්‍රතිනිර්මාණය කිරීමයි. වයස අවුරුදු 5 සිට 50 දක්වා වූ මෙම රංගන පිරිවර නාට්‍ය, සිනමා, රූපවාහිනී, ගුවන්විදුලි, වීදි නාට්‍ය මෙන්ම යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනූ පිරිසකි.
ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ නවමු පෙරළියක් සටහන් කරමින් මෙම දැවැන්ත නිෂ්පාදනය පිටුපස ප්‍රවීණ ශිල්පීන් රැසක් පෙළගැසී සිටිති. වේදිකා කලාව උඩුයටිකුරු කරන නවතම අත්දැකීමක් මෙ නාටකයේ ඇති ප්රබලත්වයි.
"විමුක්තියේ නියමුවා" යනු හුදෙක් දෙබස්වලට සීමා වූ නාට්‍යයක් නොවේ. ප්රකාශනාත්මක ආලෝකකරණය, කම්පනකාරී සංගීතය, තේමාත්මක වේදිකා අවම සැරසිලි සහ රංගන ශිල්පීන්ගේ සජීවී ඉදිරිපත් කිරීම හා ලංකාවේ ප්‍රථම වතාවට වේදිකා නාට්‍යය කලාවට රැගෙන ඒන නවතම රංගන වාදන ගායන ක්‍රියාන්විතයක රසය හඩ සිත්ම සහිතව ඒක නාට්‍ය තුළින් ග්රාහක ප්‍රේක්ෂක හදවතේ දෑස් ඉදිරියේ තවත් කතා රැසකට රැගෙන යන ප්‍රේක්ෂක හදවතට මෙන්ම බුද්ධියටද සෘජුවම ආමන්ත්‍රණය කිරීමට මෙම නාට්‍ය ප්රබලව සකස් කර ඇත. තහනම් කළ මතවාද, අරගල, භීෂණය, අමානුෂික වධහිංසා, අසීමිත ආදරය, කරුණාව සහ දිනන දේශයක අනාගත ගමන් මඟ රසවත්ව මෙන්ම ප්රබලව වේදිකාව මත දිගහැරේ.
රෝහණ වීජේවීර කුරිරු ලෙස මරාදැමී ය. දස වද දී භාගෙට මරා පණ පිටින් ගෑස් සෑයක මිහිදන් කළ අළුවත් අතුරුදන් කළ මරණ සහතිකයවත් නොමැතිව ධනපති පාලකයින් විසින් මරා දමන ලද විජේවීර නම් වූ නායකයයා අපේ කාලයේ හදවතේ නායකයා ය. ඔහු අදත් හෙටත් කවදත් ජනතාගේ ආදරයේ බුද්ධියේ රට පෙරට යන ගමනේ හදවතේ ජීවත්වන අමරණීය මිනිසාය. ඔහුගේ කතාව අලුත් රටක් දේශයක් සඳහා ගමන් කරවන අපේ කාලයේ ප්‍රබල නාට්‍යයකි. විමුක්තියේ නියමුවා ප්‍රධාන පාඨය මෙසේ ය. රටක ජනතාවගේ සැබෑ විමුක්තිය - කඳුලින් දියවුණු අමරණීය මිනිසාගේ කතාව අධ්‍යක්ෂණය විදුර අබේනායක පිටපත, නිමල් අල්ගෙවත්ත ගෙනි.නිෂ්පාදනය ශ්‍රීමාල් දසනායක සමග කලා පරපුරේ ඉදිරිපත් කිරීමකි.

අධ්‍යක්ෂක විදුර අබේනායක මහතා මෙසේ කීය.
''විප්ලවය යන වචනය තරම් කතාබහට තර්කනයට තුඩුදුන් වෙනත් වචනයක් නැති තරම්ය. ලෝකයේ විවිධ රටවල විවිධාකාර විප්ලව සිදු වී තිබේ. එහෙත් රෝහණ විජේවීර නම් වූ මිනිසා පැතූ විප්ලවය තවමත් අත්දකින්නට අපට හැකි වී නැත. එය අවියෙන් නොව ප්‍රඥාවෙන්, ආධ්‍යාත්මික ශික්ෂණයෙන් සන්නද්ධ වූ චින්තන විප්ලවයකි. 1989 වසරේ යක්ෂයාගේ අන්ධකාර හේරාවෙහි අමානුෂික ලෙස වධබන්ධනයට ලක්කොට මරා දැමූ මේ උත්කෘෂ්ට මිනිසාගේ කතාව නව මානයකින් වේදිකාවට ගෙනෙන්නට මා දැරූ ප්රයත්නය කොතරම් සාර්ථකදැයි නිගමනය ඔබට භාර ය. අද ඔබ හමුවෙහි වේදිකා ගත වන මේ නාට්‍යය නිර්මාණය කර ගන්නට මා හා එක්වුණු නිමල් අල්ගෙවත්ත, ශ්‍රීමාල් දසනායක, සුසන්ත හේරත්, සුසර අබේනායක, සුසන්ත බණ්ඩාර හා රංගනයෙන් දායක වූ දුයිෂෙන් පරපුරේ ශිල්පී කණ්ඩායම කෘතවේදීව හෘදයාංගමව සිහිපත් කරමි.
මගේ ගුරු ගීතය නාට්‍යයට උඩුගල්මොටේ තිලකසිරි හිමියන් සංග්රහශීලීව උපකාර කළා සේම මේ නාට්‍යය සඳහා ද උඩුගල්මොටේ සිරිවිමල හිමි, වේරදූවේ සිරීජෝති හිමි ඇතුළු මා සේවය කරන සහ සේවය කළ මාධ්‍ය ආයතනවල සහෘදයන් මට දුන් සහයෝගය ආදරයෙන් සිහිපත් කරමි.
මෙම නාට්‍යය සඳහා ද ප්‍රචාරණ හා සංවිධාන කාර්යයන්ට උපකාරී වූ සහ උපකාරී වන කල්‍යාණ මිත්‍ර සමූහය ද සදා සිතින් බැහැර නොවෙයි. මා ගෘහ පළිබෝධ අතර හිර නොකොට,සෞන්දර්යාත්මක පොදු මෙහෙවරක නිමග්නව සිටිනු දක්නට කවදත් කැමැත්තෙන් සිටින පවුලේ සමීප සාමාජික සංචිතය ද ළෙන්ගතුව ඇගයීම මගේ යුතුකමකි. මෙය අපේ කණ්ඩායමේ වැඩකි. පිටපත සහ කලා අධ්‍යක්ෂණය නිමල් අල්ගෙවත්ත ගෙනි. සහාය අධ්‍යක්ෂණය සුසන්ත හේරත් වේදිකා පරිපාලනය සහ රංගන ශිල්පී කළමනාකරණය ටී.බී. සුසන්ත බණ්ඩාර ගෙන දෙයි.
මාධ්‍ය සම්බන්ධීකරණය සහ දර්ශන සංවිධායක සහාය නන්ද කුමාර හින්නිආරච්චි, රංජිත් ජයසූරිය, සඳමල් ඉන්දුෂාන් ශබ්ද සංයෝජනය සුසර අබේනායක ගෙනි.අංග රචනය හෙන්රි ප්‍රේමරත්න නිෂ්පාදනය ශ්‍රීමාල් දසනායක විසිනි. ඉදිරිපත් කිරීම කලා පවුර දුයිෂෙන් පරපුර හා හිත හොඳ සඟයන්ගේ වැඩකි.
රංගන සමූහය නිමල් අල්ගෙවත්ත, සුසන්ත හේරත්, සෙත්සුක උඩුවක, මහින්ද ප්‍රසාද් සුමුදු ජයවර්ධන, එස්. උපාලි හරිශ්චන්ද්‍ර, කුමුදු උපුල් ශාන්ත, හංස එදිරිමුණි, එස්. රාජු නිලාම් වේරගොඩ, රුසිරු ගඟුල් කෙවටියාගල, අශාන් මෙත්සර මධුෂාන්, සුනිල් හෙට්ටිආරච්චි බ්‍රයිඩ් ද සිල්වා සම්බන්ධ වේ.
චේ ගුවේරා, ෆිදෙල් කැස්ත්‍රෝ, ලෙනින් යනාදි ලෝකපූජිත විප්ලවවාදීන් එදා පැවසූ පරිදි, “මිනිසුන් මරා දැමිය හැකි වුව ද, ඔවුන් පැතූ අදහස් හා මතවාද කිසිදා මරා දැමිය නොහැක.” රෝහණ විජේවීරයන් යනු ඉතිහාසය විසින් මකා දැමීමට උත්සාහ කළ ද පීඩිත ජන හදවත් තුළ නොමියෙන මතවාදයක් බවට පත් වූ අමරණීය සංකේතයකි.
"විමුක්තියේ නියමුවා" වේදිකා නාට්‍යය යනු හුදෙක් අතීත ආවර්ජනයක් පමණක් නොවේ. එය අයුක්තියට එරෙහිව නැගී සිටීමට අනාගත පරපුරේ බුද්ධියට සහ හෘදසාක්ෂියට කෙරෙන ප්‍රබල අභියෝගයකි. තුවක්කුවේ බලයෙන් නිහඬ කළ සත්‍යය, රංග පීඨයේ ආලෝකය හමුවේ යළිත් ජීවමාන වන බවට මෙය කදිම සාක්ෂියකි.
ලෙයින් සහ කඳුළෙන් ලිවූ නොමියෙන මිනිසාගේ කතාව සජීවීව විඳගන්නට,අගෝස්තු 30 වැනිදා රාත්‍රී 7.00 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් වෙත පියනඟන්න දැඩි සහෝදරත්වයෙන් සැමට ආරාධනා කරමු.
මෙම අවස්ථාවට පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ප්රමුඛ පක්ෂයේ ක්රීයාකාරිහු රැසක් සමගින් ඒක් වීමට නියමිත ය.
විමසීම් : නිමල් අල්ගෙවත්ත (077 2503491)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
