ජාතිවාදයට එරෙහි සටනට එක්වන්න - නවසීලන්ත අගමැතිනිය ඉල්ලයි !

ජාතිවාදයට එරෙහි සටනට එක්වන්න - නවසීලන්ත අගමැතිනිය ඉල්ලයි !

ජාතිවාදී දක්ෂිණාංශික මතවාදය මුලිනුපුටා දැමීම සඳහා ගෝලීය සටනක අවශ්‍යතාව නවසීලන්තයේ අගමැතිනිය ජසින්ඩා ආඩන් අවධාරණය කරයි.

ඇය ඒ බව කියා සිටියේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් පල්ලි දෙකක් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව බීබීසී සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

සංක්‍රමණ ඉහළ යාම ජාතිවාදය වර්ධනය වීමට බලපා ඇතැයි යන අදහස තමන් බැහැර කරන බව අගමැතිනිය ජසින්ඩා ආඩන් වැඩිදුරටත් පැවසීය.

පසුගිය සිකුරාදා (මාර්තු 15) එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් පනස් දෙනෙකු මරණයට පත් වූ අතර තවත් ගණනාවක් තුවාල ලැබීය.

ප්‍රහාරය සිදු කළ බ්‍රෙන්ටන් ටරන්ට් නමැති විසි අට හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයාට එරෙහිව චෝදනා ගොනුකර ඇත.

මරණයට පත් පිරිස අතරින් සිරියානු ජාතික පියෙකුගේ සහ ඔහුගේ පුතුගේ අවමංගල්‍ය කටයුතු බදාදා (මාර්තු 20) සිදුවිය.

ප්‍රහාරයේ ඉලක්ක බවට පත් ස්ථාන දෙකෙන් එකක් වන ක්‍රයිස්ට්චර්ච්හි ලින්වුඩ් ඉස්ලාමීය මධ්‍යස්ථානය අසල සුසාන භූමිය වෙත ශෝකයට පත් සිය ගණනක් එක් රැස්ව සිටිති.

1 1

අගමැතිනිය පැවසු කරුණු මොනවාද?

දක්ෂිණාංශික ජාතිකවාදය පිළිබඳ විමසු අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ: "මේක සිදු කළේ ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්. නමුත් ඉන් කියවෙන්නේ නැහැ නවසීලන්ත ජාතිකයන්ගෙන් බහුතරයකට නින්දාවක් විය හැකි එවැනි මතයක් නවසීලන්තයේ ඇති බව." යනුවෙනි.

කොතැනක පැවතියත් එවැනි මත මුලිනුපුටා දැමීමටත් එවැනි මතවලට සමෘධිමත්ව වැඩිය හැකි පරිසරයක් නිර්මාණය නොකිරීමටත් වගකීමක් ඇති බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

ඇය විසින් ප්‍රහාරකයා හඳුන්වනු ලැබුවේ "වෙනත් තොකොතැනක හෝ හැදීවැඩී ඔවුන්ගේ මතවාදය ඉගෙන ගෙන නවසීලන්තයට එරෙහිව ප්‍රචණ්ඩත්වය ගෙන ආ පුද්ගලයෙකු" ලෙසය.

1 2

සරණාගතයන් භාර ගැනීම සම්බන්ධයෙන් නවසීලන්තය අනුගමනය කර ඇති ක්‍රියාපිළිවෙත වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය එහිදී පෙනී සිටියාය.

එමෙන්ම ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරු නමින් සඳහන් නොකිරීමට තමන් ගත් තීරණය වෙනුවෙන් යළි පෙනී සිටින්මින් අගමැතිනිය කියා සිටියේ එවැනි ක්‍රියාවක් මගින් නම ප්‍රසිද්ධියට පත් කර ගැනීම ඔහුගේ අවශ්‍යතාව වුවත් ඒ සඳහා අවස්ථාව ලබා නොදෙන බවය.

ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආඩන් කටයුතු කළ ආකාරය ප්‍රශංසාවට ලක් වී තිබේ. ප්‍රහාරයෙන් අනතුරුව විපතට පත්වුවන් වෙනුවෙන් ශෝකය පළ කළ ඇය හිජාබයක් පැළඳීම තුළින් ශක්තිමත් පණිවුඩයක් ලබා දී ඇති බව එහි සිටින බීබීසී වාර්තාකරු පැවසීය.

මෙම සිදුවීම සැලකිල්ලට ගෙන නවසීලන්තයේ පවතින ගිනි අවි නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය එකඟත්වය පළ කළ බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් මීට ඉහතදී පැවසීය.

"අපේ ගිනි අවි නීති වෙනස් වනු ඇති" යනුවෙන් අගමැතිනිය පැවසීමත් සමග ගිනි අවි නීති සංශෝධනය කළ යුතු බවට නවසීලන්තය තුළ මතයක් නිර්මාණය විය.

ගිනි අවි නීති සංශෝධනය පිළිබඳ තොරතුරු මාර්තු 25 වන දා වන විට නිවේදනය කිරීමට අපේක්ෂා කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

(බීබීසී)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න