Language Switcher

V2025

සෞදි අරාබියේ ගුවන්තොටුපොළක් වෙත මිසයිල ප්‍රහාරයක් !

සෞදි අරාබියේ ගුවන්තොටුපොළක් වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 26 දෙනෙක් තුවාල ලබා තිබේ.

එම ප්‍රහාරය යේමනයේ හුතී කැරළිකරුවන් විසින් එල්ල කරන ලද බව සෞදි අරාබියේ රාජ්‍ය මාධ්‍ය පවසති.

යේමන දේශසීමාවට කිලෝමීටර් 200ක් පමණ උතුරින් පිහිටි අභා නමින් හැඳින්වෙන එම ගුවන්තොටුපොළට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් කාන්තාවන් තිදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව හමුදා ප්‍රකාශකයෙක් බදාදා (ජුනි 12) පැවසීය.

තමන් ඉලක්ක කළ ස්ථානයටම ප්‍රහාරය එල්ල වූ බව කැරළිකරුවන් පවසා තිබේ.

යේමන රජය හුතී කැරළිකරුවන් සමග වසර හතරක් තිස්සේ යුද වදිමින් සිටින අතර, සෞදි අරාබි නායකත්වයෙන් අරාබි රටවල් හතරක මිත්‍ර හමුදා යේමන රජයට සහය දක්වති.

මෙම අභ්‍යන්තර යුද්ධය නිසා විශාල හානියක් යේමනයට සිදුවී ඇත.

ගැටුම් උච්ඡත්වයට පත්වූයේ 2015දී බටහිර යේමනයේ විශාල ප්‍රදේශයක් කැරළිකරුවන් අල්ලා ගැනීම සහ ජනපති අබ්ද්‍රබු මන්සොර් හාඩි රටින් පැනයාමත් සමගය.

කලාපයේ ෂියා මුස්ලිම් බලවතා වන ඉරානයේ සහය ලැබෙතැයි සැලකෙන හුතී කැරළිකරුවන් මෑත කාලීනව ලැබූ ප්‍රබල වර්ධනය නිසා කලබල වූ සුන්නි බහුතරයක් සහිත අරාබි රාජ්‍යයන් අටක් හාඩිගේ රජය නැවත ස්ථාපිත කිරීම සඳහා ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළහ.

තුවාල ලැබුවේ කවුද?

ඒකාබද්ධ හමුදා ප්‍රකාශක කර්නල් ටර්කි අල්-මලිකි නිල සෞදි ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ හුතී කැරළිකරුවන් එල්ල කළ මිසයිලය අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයට වැදුණු බවය.

තුවාල ලැබූ කාන්තාවන් යේමන, ඉන්දීය සහ සෞදි ජාතීන්ට අයත් විය. තුවාල ලැබූ දරුවන් දෙදෙනා සෞදි ජාතිකයන් වේ.

මහජන ගුවන්තොටුපොළකට එල්ල වූ ප්‍රහාරය ජාත්‍යන්තර මානුෂික නීතිය දරුණු ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වන කර්නල් මලිකි එම ප්‍රහාරය යුද අපරාධයක් ලෙස සැලකිය හැකි බවද පවසයි.

ඒකාබද්ධ හමුදාව "මහජනතාව සහ මහජන දෙපල ආරක්ෂා කිරීමටත් මෙම ත්‍රස්ත හමුදාව බල රහිත කිරීමටත් නිසි පියවර ගන්නා" බව ඔහු තවදුරටත් පැවසීය.

ප්‍රහාරය සඳහා යොදාගත් මිසයිල වර්ගය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව ද කර්නල්වරයා සඳහන් කළේය.

map
නමුත් කැරළිකරුවන්ගේ පාලනයේ පවතින අල්-මසීරා රුපවාහිනිය පැවසුවේ එය කෘස් මිසයිලයක් බවය.

"අමෙරිකාවෙන් හඳුන්වා දුන් නවතම පද්ධතියටත් ප්‍රහාරය වැළැක්වීමට හැකිවුණේ නැහැ. මෙම ප්‍රහාරය නිසා සතුරා කලබලයටත් බියටත් පත්වුණා. ඔවුන් ව්‍යාකුල වෙලා."

0001

අල්-මසීරා රුපවාහිනිය පැවසුවේ හුතී කැරළිකරුවන් කෘස් මිසයිලයක් එල්ල කළ දෙවැනි අවස්ථාව මෙය බවය.

අබු ඩාබි නගරයේ පිහිටා තිබෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉලක්ක කර 2017 දෙසැම්බර් මාසයේදී පළමු කෘස් මිසයිල ප්‍රහාරය එල්ල කළ බව පැවසේ.

මීට දින කිහිපයකට පෙර හුතී කැරලිකරුවන්ගේ ප්‍රකාශකවරයෙක් පැවසුවේ සෞදි අරාබියේ තිබෙන සියලු ගුවන්තොටුපොළ වෙත තමන් ප්‍රහාර එල්ල කරන අතර ඉදිරි දින කිහිපයේදී තමන් 'පුදුමයන්' කිහිපයක් හෙළිකරන බවය.

(බීබීසී)