ඉන්දීය ජම්මු කාශ්මීරය නොසන්සුන්!

ඉන්දීය ජම්මු කාශ්මීරය නොසන්සුන්!

ඉන්දීය ජම්මු කාශ්මීරයේ නොසන්සුන්තාවය තවදුරටත් උත්සන්න වී තිබේ.

මෙසේ සිදු වී ඇත්තේ මෙහ්බූබා මුෆ්ටි, ඕමාර් අබ්දුල්ලා සහ සජාද් ලෝන් යන ප්‍රාන්තයේ ප්‍රධාන දේශපාලනඥයන් නිවාස අඩස්සියේ තැබීමට ඉන්දීය බලධාරීන් පියවර ගැනීමෙන් පසුවයි.

මේ වනවිට ප්‍රාන්තයේ ජංගම දුරකථන ඔස්සේ අන්තර්ජාල සේවා භාවිතය අවහිර කර ඇති අතර ප්‍රසිද්ධ හමුවීම් සහ රැළි පැවැත්වීම ද තහනම් කර තිබේ.

ප්‍රාන්තයේ සියලුම පාසල් සහ උසස් විද්‍යාල මෙන්ම විවිධ අධ්‍යාපනික ස්ථාන ද වසා දැමූ බලධාරීන් සිසුන්ට නේවාසිකාගාරවලින් වහාම ඉවත්වන ලෙස දන්වා ඇතැයි සඳහන් ය.

බැතිමතුන් සහ සංචාරකයින්ට කඩිනමින් කාශ්මීරයෙන් පිටවන ලෙස පවසමින් ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගැනීමෙන් පසු මෙම තත්ත්වය හටගෙන තිබේ.

ඉන්දු පකිස්ථාන දේශ සීමාව ආශ්‍රිතව පකිස්ථානය සමග ගැටුම් සහගත තත්ත්වයක් හටගැනීමේ අවදානමක් පවතින බැවින් මෙම පියවර ගත් බව ඉන්දීය රජය සඳහන් කරයි.

ඉකුත් සතියේදී ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් දිස්ත්‍රික්කය සහ කාශ්මීර නිම්නය ඇතුළු ප්‍රදේශ වෙත අතුරු හමුදා බලකායේ සෙබලුන් 35000 ක් අමතරව යෙදවීමට ද ඉන්දීය රජය පියවර ගත්තේ ය.

කාශ්මීර වැසියන්ට රජයේ රැකියා සහ ඉඩම් ලබාදෙන ඉන්දීය ව්‍යවස්ථාවේ ඇතුළත් 35 ඒ වගන්තියත් , ජම්මු කාශ්මීර ප්‍රාන්තයට ස්වාධීන පාලනයක් ලබාදෙන 370 වගන්තියත් සංශෝධනය කිරීමට මධ්‍යම රජය සැරසෙන පසුබිමකදී මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ප්‍රාන්තයේ ස්ථිර පදිංචිකරුවන්ට නීති පැනවීමත්, ස්ථිර නොවන පදිංචිකරුවන්ට ප්‍රාන්තයේ ස්ථිර පදිංචිය ලබාදීම , රජයේ රැකියා , ශිෂ්‍යත්ව ලබාගැනීම මෙන්ම දේපළ මිලදී ගැනීම තහනම් කිරීමට අදාළ නීති පැනවීමේ අයිතිය ජම්මු කාශ්මීර ප්‍රාන්ත සභාවට හිමිවන්නේ ව්‍යස්ථාවේ ඇතුළත් 35 ඒ වගන්තිය මගිනි.

රජය ජම්මු කාශ්මීරයට ලබාදී ඇති මෙම විශේෂ වරප්‍රසාද වෙනස්කළ හොත් ඉන් බරපතළ ප්‍රතිවිපාක ඇතිවනු ඇතැයි ප්‍රාන්ත දේශපාලනඥයන් මීට පෙර අනතුරු ඇඟවී ය.

අද සිට කාශ්මීරයේ ශ්‍රී නගර් දිස්ත්‍රික්කය වෙත ඇඳිරිනීතිය පැනවීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තාවල පළ වුවත් එය අසත්‍යයක් බව ප්‍රාන්ත රජය කියා සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න