ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ඛනිජ වැලි සම්බන්ධ ආයෝජන අංශ රැසකට නව ආයෝජකයින් කැඳවයි

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ඛනිජ වැලි සම්බන්ධ ආයෝජන අංශ රැසකට නව ආයෝජකයින් කැඳවයි

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ඛනිජ වැලි ඇතුළු මෙතෙක් විධිමත් ආකාරයකට කැණීම් සිදු කර සොයා නොගත් අංශ සහ තවත් ආයෝජන අංශ රැසකට නව ආයෝජකයින් කැඳවාලීමට අඩිතාලම දැමීමට ඉකුත්දා තායිවානයේ පැවැත් වූ ගෝලීය ආයෝජන සමුළුවට එක්වීමෙන් හැකිවූ බව ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ සහ ජාත්‍යන්තර ආයෝජන උපදේශක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

තායිවානයේ තායිපෙ අග නගරයේ දී ලොව රටවල් 40ක විවිධ ක්ෂේත්‍ර ආයෝජකයෝ රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත් වූ බවත්, එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමා ඇතුළු පිරිසක් එක් වූ බවත් අරෝෂ ප්‍රනාන්දු සඳහන් කළේ ය.

ලබන වසරේ ඩොලර් මිලියන දෙකක ඉලක්කයක්

වසර 2025 ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන එකකට අධික ආයෝජන සිදුවී ඇතැයි ද එය ලබන වසරේදී ඩොලර් බිලියන 1.5ත් 2ත් අතර මට්ටමකට ගෙන ඒමට ඉලක්ක කොට ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කරයි.

මෙරට ආයෝජන මණ්ඩලය භාරව සිටින අමාත්‍යවරයා වනුයේ ද වත්මන් ජනපති අනුර කුමාර දිසානායක බව සඳහන් කළ ආචාර්ය ප්‍රනාන්දු ඔහුගේ නිවැරැදි නායකත්වය යටතේ මෙම ඉලක්ක ජය ගැනීමට හැකිවනු ඇතැයි ආයෝජන සමුළුවේ දී සඳහන් කර සිටියේ ය.

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ආයෝජන ගෙන ඒමට තායිවානය සූදානම්

ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීමට හඳුනා ගත් අංශ ගණනාවක් පවතී. ඒ අතර ඛනිජ නිධි සහ ඛනිජ සම්පත් අංශය ප්‍රධානය. මීට අමතර මෙරට භෞතික සම්පත් මනාව උකහා ගනිමින් රටේ ආර්ථික අභිවෘද්ධිය ඇති කිරීමට නව ආයෝජන ගෙන ඒම සමුළුවට එක්වීමේ අරමුණ වුණා. එය සාක්ෂාත් කර ගැනීමට ආයෝජකයන් රැසක් සමඟ සාකච්ඡා කළා යැයි ද ප්‍රනාන්දු පැවසී ය.

ශ්‍රී ලංකා රජය නව ආයෝජන ගෙන ඒමට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ දී සහ නව ආයෝජන සඳහා බලපත්‍ර ලබාදීම්, අනුමැති ලබා දීම් කඩිනම් කිරීම සිදුකර ඇති ආකාරය ආයෝජකයින්ට පෙන්වා දී ඉන් ප්‍රයෝජන ගන්නැයි ඔවුන්ට ආරාධනා කළ බව ද කී අරෝෂ ප්‍රනාන්දු, ගෝලීය භූ දේශපාලනික ක්‍රියාකාරකම් හමුවේ වුව ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ආයෝජන ගෙන ඒමට තායිවානය සූදානම් බව ද සඳහන් කළේය.

මෙම සමුළුව අතරතුර තායිවානයේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති Chung-kwang Tien මහතා සමග ඉතා ඵලදායි සාකච්ඡාවක් පැවැත් වූ බව ද අරෝෂ ප්‍රනාන්දු සඳහන් කළේ ය.

පසුගියදා ශ්‍රී ලංකාව හරහා හමා ගිය දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් යටිතල පහසුකම් සහ විවිධ ආර්ථීක ක්‍රියාකාරකම් ඉක්මනින් සමනය කර යථා තත්ත්වයට පත්වීමට නව ආයෝජන දැඩිව අවශ්‍ය මොහොතක මෙවැනි ජාත්‍යන්තර සමුළුවකට එක්වී කරණු දැක්වීමට හැකිවීම සතුටක් බව ද අරෝෂ ප්‍රනාන්දු පැවසී ය.

(සටහන | ජයසිරි මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න