අඩු පොලී අනුපාත යටතේ නව ආයෝජන සඳහා කඩිනමින් මූල්‍ය පහසුකම් සපයන්නෑයි ඉල්ලීමක්

අඩු පොලී අනුපාත යටතේ නව ආයෝජන සඳහා කඩිනමින් මූල්‍ය පහසුකම් සපයන්නෑයි ඉල්ලීමක්

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් බිඳ වැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් යළි ඉක්මනින් නඟා සිටුවීම සඳහා ඉතාම අඩු පොළී අනුපාත යටතේ නව ආයෝජන සිදුකිරීමට කඩිනමින් මූල්‍ය පහසුකම් සපයන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව MSME Chember Of Sri Lanka හි මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි ප්‍රකාශ කළේය.

විපතට පත්වූ කර්මාන්ත හා ව්‍යාපාර නඟා සිටුවීමට ජනපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත ශ්‍රී ලංකා මහ බැංකුව නව චක්‍රලේඛයක් නිකුත්කරමින් කටයුතුකර සිටින අතර, එම වැඩ පිළිවෙළ වඩාත් පහසුවෙන් විපතට පත්වූවන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා ගැනීමට දිරිගන්වන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව හෙතෙම කීය.

කොළඹ, වැල්ලවත්ත බ්ලූ සෆයාර් හෝටලයේ පෙරේදා රාත්‍රියේ බ්ලූ ඕෂීන් ආයතනයේ වාර්ෂික සුහඳ හමුවට සමගාමීව පැවැති මාධ්‍ය හමුව අමතමින් සුසන්ත ලියනාරච්චි මේ බව සඳහන් කළේය.

වසර 2022 සිට දරුණු ආර්ථික අර්බුදයකින් බැටකමින් යම් ආකාරයකට මේ වන විට ස්ථාවරයකට පැමිණි ශ්‍රී ලංකා ආර්ථිකය සුළිකුණාටුවත් සමඟ නැවත කඩා වැටුණා. එය සමනය කොට නැවත ගොඩනැඟීමට විශාල කාලයක් සහ මුදලක් අවශ්‍යයි. එය සපුරාලීම රජය වඩාත් උනන්දුවෙන් කළයුතු කටයුත්තක්. එක්සත් ජනපද ඩොලරයට ගෙවන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණයෙහි අගය ආරක්ෂා කර ගනිමින් උද්ධමනය තනි ඉළක්කමක තබා ගනිමින් ආර්ථිකය කළමනාකරණය කිරීමට මහ බැංකුව කටයුතු කළ යුතුය. එසේ කිරීම තුළ අපටත් නැවත නැගී සිටීමට අවස්ථාව සැලසෙනු ඇති.

MSME Chember Of Sri Lanka හි සාමාජික එස්. තුමිලන් ව්‍යාපාර නැවත ගොඩනැඟීමට කටයුතු කිරීමේදී ලබා ගත් ණය පහසුකම් ආපසු ගෙවීමට අමතර කාලයක් ලබා දිය යුතුය. පරාටේ නීතිය යටතේ අත්පත්කර ගැනීම් කල්දැමිය යුතුය. එවැනි සහනයක් ලැබීම විපතට පත්වූවන්ට ඉක්මනින් ගොඩඒමට විශාල සහනයක් වනවා.

ඉන්දියන් තෙල් සමාගමේ ඉන්ධන බෙදාහරින්නන්ගේ එකමුතුවේ සාමාජික කෝසල විදානාරච්චි ශ්‍රී ලංකාව රටක් ලෙස ලබාගත් ණය ආපසු ගෙවීමට යම් සහන කාලපරිච්ඡේදයක් දිය යුතු බවට ජාත්‍යන්තරයෙන් යෝජනා වී තිබෙනවා. ඒ ආකාරයටම දේශීය බැංකුවලින් අප ලබාගත් ණය ආපසු ගෙවීමටද සහන කාලයක් ලබාදිය යුතු බවට අප රජයෙන් ඉල්ලා සිටිනවා යැයි කීය.

මෙහිදී සංගමයේ තවත් කිහිප දෙනෙකුද අදහස් දැක්වූහ.

(සටහන | ජේ.මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න