Language Switcher

V2025

දෙස් විදෙස් රැකියා දෙන්න : රැකියා දෙරණ ඇරඹේ !

රැකියා විරහිතභාවය තුරන් කරමින් දේශීය විදේශීය රැකියා සිහිනය සැබෑ කරන රැකියා දෙරණ සංකල්පය පුද්ගලික ක්ෂේත්‍රය තුළින් ඇරඹීමට ගිවිසුම් අත්සන් කරයි.

රැකියා විරහිත තරුණ තරුණියන්ගේ දේශීය - විදේශීය රැකියා සිහිනය සැබෑ කරමින් රැකියා දෙරණ වැඩසටහන ආරම්භ කිරීම සදහා වන මූලික අවබෝධතා ගිවිසුමට කැපිටල් වන් හෝල්ඩිං සමාගම සහ ඕ ටූ සොෆ්ට්වෙයාර් සමාගම අත්සන් තැබුවේය.

කැපිටල් වන් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වේරංග විතානආරච්චි අත්සන් තැබූ අතර ඕ ටූ සොෆ්ට්වෙයාර් සමාගම වෙනුවෙන් එහි සභාපති ආචාර්ය රොෂාන් හාෂීම් අත්සන් තැබුවේය.

ඇමරිකානු ඩොලර් මිලියන 1.3 මුදල් රැකියා දෙරණ වැඩසටහන සදහා මූලික වශයෙන් ආයෝජනය කිරීමට නියමිත අතර මෙම වැඩසටහන හරහා රැකියා අපේක්ෂිතයින්ගේ දත්ත බැංකුවක් සකස් කෙරේ. රැකියා අපේක්ෂිත දත්ත බැංකුව හරහා රැකියා ලබාදෙන ආයතන හා රැකියා අපේක්ෂිතයින් සම්බන්ධ කරන අතර රැකියා අපේක්ෂිතයින්ට අවශ්‍ය සුදුසුකම් හා පුහුණුව ලබාගැනීම සදහා ද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

රැකියා දෙරණ තුළ ලියාපදිංචිවීම සදහා අන්තර්ජාලයට හෝ පරිඝනකයකට සම්බන්ධවීම අවශ්‍ය නොවේ. පරිඝනක පහසුකම් නොමැති ඈත ගම්මානවල සිටින තරුණ තරුණියන්ට සාමාන්‍ය රැකියා අයදුම්පතක් ඉදිරිපත් කරන ආකාරයට මෙහි ලියාපදිංචි විය හැකිය.

රැකියා දෙරණ වැඩසටහන හරහා විදේශීය රැකියා අවස්ථා සදහා වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීමට නියමිතව ඇත. ඒ අනුව විදේශ රැකියා අපේක්ෂිතයින් හා රැකියා යෝජකයින් මෙන්ම විදේශ රැකියා නියෝජිත ආයතන එක් කරන මධ්‍යස්ථානයක් බවට රැකියා දෙරණ පත්වේ. ඒ හරහා දැනට රටේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ විනිමය ගැටලුවට විසදුම් ලබාදීමටද හැකියාව ලැබේ.

ලංකාවේ වැඩිම විදේශ විනිමයක් ලැබෙන්නේ විදේශගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන විදේශ මුදල්ය. පසුගිය කාලයේදී විදේශගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන විදේශ මුදල් ප්‍රමාණය අඩුවී තිබෙන අතර ලංකාව ඉක්මවා යමින් කලාපයේ වෙනත් රටවල් ඉදිරියට පැමිණ තිබේ. රැකියා දෙරණ වැඩසටහන හරහා වෘත්තීමය නිපුණත්වයක් සහිත රැකියා අපේක්ෂිතයින් වැඩි වශයෙන් විදේශ රැකියා සදහා යැවීමට කටයුතු කරන නිසා සෘජු ලෙසම රටට පැමිණෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යයි.

ඒ අතරම රැකියා දෙරණ වැඩසටහන ඉදිරියේදී විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යවන රටවල් අතර ප්‍රවර්ධනය කිරීමටද නියමිතය. ඒ මගින්ද රට තුළට තොරතුරු තාක්ෂණය ඔස්සේ විදේශ විනිමය ලබාගැනීමට හැකියාව ඇත. ඒ අනුව ඉන්දියාව, නේපාලය, බංගලාදේශය වැනි රටවල් තුළටද මෙම වැඩසටහන ප්‍රවර්ධනය වන අතර එහිදී මෙරට සිටින විදේශ රැකියා නියෝජිත ආයතනවලටද සම්බන්ධ විය හැකි නිසා ඒ මගින්ද රට තුළට විදේශ විනිමය ගෙන්වා ගැනීමට හැකියාව ලැබේ.

රැකියා දෙරණ වැඩසටහන පිළිබද අදහස් දැක්වූ ඕ ටූ සොෆ්ට්වෙයාර් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සල්මාන් ෆාරිස් මහතා මෙසේ පැවසීය.

රැකියා දෙරණ වැඩසටහන කියන්නේ සාමාන්‍ය රැකියා බැංකුවක් නෙමෙයි. මේ වැඩසටහන ජාත්‍යන්තරය දක්වා ක්‍රියාත්මක වෙන වැඩසටහනක්. මූලිකවම ඕනෑම රැකියා අපේක්ෂිතයෙක්ට රැකියා දෙරණ තුල ලියාපදිංචි විය හැකියි. ඒ අතරම දේශීය සමාගම් සහ විදේශීය රැකියා සපයන ආයතනත් මේ තුළට සම්බන්ධ වෙනවා. එවිට ඕනෑම සමාගමකට තමන්ට අවශ්‍ය සේවකයින් මේ හරහා සොයා ගැනීමට හැකියි

ඒ වගේම කිසියම් රැකියාවක් සදහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර නොමැති තරුණ තරුණියන් සිටී නම් ඔවුන්ගේ වැඩිදුර අධ්‍යාපනය සදහා පහසුකම් ලබාදීමද මේ හරහා සිදුකරනවා. එවිට බැංකු රැකියා දෙරණ වැඩසටහන සමග සම්බන්ධ වෙනවා. මෙයට සම්බන්ධවන බැංකු හරහා තමන්ගේ උසස් හා වෘත්තීය අධ්‍යාපන අවශ්‍යතා සදහා පහසුකම් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙනවා.

ඒ වගේම තමයි රැකියා දෙරණ වැඩසටනේ වැදගත් කොටසක් විදේශ රැකියා ක්ෂේත්‍රය සමග සම්බන්ධ වෙනවා. මේ වන විටත් විදේශ රැකියා සදහා පිටත්ව යන අයගෙන් බහුතරය ගෘහ සේවිකාවන් ලෙස තමයි විදේශ ගතවන්නේ. මේ තත්වය වෙනස් කරලා වෘත්තීමය රැකියා අවස්ථාවන් සදහා අවස්ථාව ලබාදීමට කටයුතු කළ යුතුයි. ඒ නිසා විදේශ රැකියා ඒජනත්වරුන්, මෙරට සිටින දේශීය ඒජනත්වරුන් හා විදේශ රැකියා අපේක්ෂිතයින් සම්බන්ධ කරන පාලමක් ලෙස රැකියා දෙරණ කටයුතු කරනවා. කිසිම අවස්ථාවකදී අපි විදේශ රැකියා නියෝජිත ආයතනයක් ලෙස කටයුතු කරන්නේ නෑ“ සල්මන් ෆාරිස් පැවසුවේය.

රැකියා දෙරණ හරහා මෙරටට ලැබෙන විදේශ රැකියා අවස්ථාවන් ප්‍රමාණය ඉහළ දැමීමට හැකියාව ලැබෙනු ඇත. විදේශ රැකියා අවස්ථාවන් අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් පිළිබද තොරතුරු රැකියා දෙරණ තුළින් ලබාගැනීමට හැකියාව ඇති නිසා පුහුණු හා වෘත්තීමය වශයෙන් ඇති විදේශ රැකියා අවස්ථාවන් සදහා වැඩි අවස්ථාවක් විවෘත වනු ඇත. ඒ අතරම විදේශ රැකියා අවස්ථා සදහා සම්පූර්ණ සුදුසුකම් සපුරා නොමැති රැකියා අපේක්ෂිතයින්ට තමන්ගේ සුදුසුකම් සම්පූර්ණ කරගෙන රැකියා අවස්ථාව ලබාගත හැකිය.

මෘදුකාංග ක්ෂේත්‍රෙය් ප්‍රවීණත්වයක් දක්වන ආයතනයක් විසින් ඉදිරිපත් කළ නවම සංකල්පයේ ආයෝජන දායකත්වය ලබාදෙන්නේ මෙරට ආයෝජන ක්ෂේත්‍රෙය් කීර්තිනාමයක් දිනා සිටින කැපිටල් වන් හෝල්ඩිංස් සමාගමයි.

රැකියා දෙරණ වැඩසටහන ගැන අදහස් දක්වමින් කැපිටල් වන හෝල්ඩිංස් සමාගමේ කළමනාකාරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වේරංග විතානාරච්චි මහතා මෙසේ පැවසුවේය.

“රැකියා දෙරණ වැඩසටහන සමග ඉදිරියට යාමේදී මේ හරහා ඇති ව්‍යාපාරික ක්ෂේත්‍රයන් ගැනත් බලනවා. දැනට කිසිම තැනක මේ වගේ සංකල්පයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. රැකියා ක්ෂේත්‍රෙය් සුදුසුකම්, රැකියා අවස්ථා හා රැකියා අපේක්ෂිතයින් අතර විශාල පරතරයක් තිබෙනවා. මේ හරහා මෙම පරතරය නැති කිරීමට අපිට හැකියාව ලැබෙනවා. රැකියා දෙරණ වැඩසටහන හරහා මෙම පරතරය පියවිමට ක්ෂණික විසදුමක් ලැබෙනවා.

සමාගමක් ලෙස අපි මේ ව්‍යාපෘතියට එක්වීමෙන් වෙළදපොළ පුලුල්වීම පිළිබදව මෙන්ම රැකියා අවස්ථා වර්ධනයවීම ගැනත් අවධානය යොමු කරනවා. දැනට ලංකාවේ සුදුසුකම් ඇති අයට රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකිවීමේ ගැටලුවක් තිබෙනවා. දැන හැදුනුම්කම් මත රැකියා ලබාගැනීම වෙනුවට සුදුසුකම් මත රැකියා ලබාගැනීමේ ක්‍රමවේදයක් රැකියා දෙරණ හරහා ක්‍රියාත්මක කළ හැකියි.

විශේෂයෙන්ම මේ හරහා විදේශ රැකියා අවස්ථා ඉහළ යනවා. ඒ විතරක් නෙමෙයි රැකියා ලබාගන්නා පුද්ගලයා රැකියාවේ නිරතවන ස්ථානය පිළිබද තොරතුරු ලබාගැනීමට හැකිවීම නිසා මේ හරහා සුරක්ෂිත විදේශ රැකියාවන් සදහාද දොර විවෘත වෙනවා“

මේ වසරේ මුල් මාස කිහිපය තුළදී රැකියා දෙරණ වැඩසටහන ජනතාව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.