Language Switcher

V2025

කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට එරෙහි නීති දැඩි කරයි

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සඳහා විධිවිධාන සැලසීම පිණිස 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඒ වෙනුවෙන් වන යෝජනාව වැඩබලන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ඒ.ඩී.චම්පික ප්‍රේමදාස විසින් පසුගියදා කැබිනට් මණ්ඩලයට යොමුකර තිබෙන අතර ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අදාළ යෝජනාවේ සඳහන් වැදගත් සංශෝධනයක් වනුයේ, සීමාසහිත පොදු සමාගමක් හැරනු විට අනෙක් සෑම සමාගමක් විසින්ම තම සමාගමේ අයිතියෙන් 25%ක් හෝ ඊට වඩා දරනු ලබන කොටස් හිමිකම් සතු තැනැත්තන් හෝ; එවැනි සමාගමක මෙහෙයවීම සම්බන්ධයෙන් සක්‍රීය පාලනයක් හිමි අර්ථලාභී තැනැත්තන් පිළිබඳ තොරතුරු අඩංගු ලේඛනයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව හඳුන්වා දීමය.

තවද එම තොරතුරු සමාගම් රෙජිස්ට්‍රාර් සහ අනෙකුත් අදාළ බලධාරින් වෙත ලබා දීම සඳහාද විධිවිධාන සැලසිය යුතු වේ. ඒ අනුව, 2007 අංක 7 දරන සමාගම් පනතට සිදු කළ යුතු සංශෝධන සිදු කිරීමටත්, ඒ සඳහා සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීමටත් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත තිබේ.

කළු සල්ලි සුදු කිරීම සම්බන්ධව ලංකාව අසාධු ලේඛනයේ

ආණ්ඩුව මෙම තීරණය ගෙන තිබෙන්නේ 2018 පෙබරවාරි මාසයේදී, යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් අසාධු ලේඛනගත කරනු ලැබීමත් ඒ හේතුවෙන් මෙරට ආර්ථිකයට හා මූල්‍ය පද්ධතිය මත ඇති කරනු ලැබිය හැකි බරපතළ අහිතකර ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින්ය.

එසේම මීට පෙර මුදල් විශුද්ධිකරණය (Money Laundering) වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ශක්තිමත් නොවන ක්‍රමෝපායන් සහිත රටක් ලෙස අසාධු ලේඛනගත කිරීමට 'මූල්‍ය ක්‍රියාකාරකම් කාර්යසාධක බලකාය' (Financial Action Task Force - FATF) විසින් කටයුතු කර තිබුණි.

ලංකාව ලෝකයෙන්ම 11 වන ස්ථානයේ

එහිදී මුදල් විශුද්ධිකරණය, ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියට එල්ලව ඇති තර්ජනවලට එරෙහිව කටයුතු කිරීමට ප‍්‍රමාණවත් පියවර ගෙන නොමැති රටවල් ලයිස්තුවේ 11 වැනි රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරුණ අතර එම ලයිස්තුවේ ලංකාවට ඉදිරියෙන් වුයේ බොස්නියාව සහ හර්සගොවීනා, උතුරු කොරියාව, ඉතියෝපියාව, ඉරානය, ඉරාකය, සිරියාව, ටි‍්‍රනිඩෑඩ් සහ ටුබාගෝ, ටියුනීසියාව, වනවාටු සහ යේමනය යන රටවල්ය.

මෙම රටවල් අනාවරණය කරමින් අන්තර් ආණ්ඩු මූල්‍ය කි‍්‍රයාකාරී කාර්ය සාධක බලකාය සඳහන් කර සිටියේ කළු සල්ලි ජාවාරම නිසා ජාත්‍යන්තර මූල්‍ය ජාලයට තර්ජනයක්‌ වී ඇති පසුබිමේ එය වළක්වාලීමට නිසි පියවර ගැනීමට අසමත් මෙම රටවල් දැඩි අවදානම් සහිත සහ පාලන අධීක්ෂණයට ලක් විය යුතු රටවල් ලෙස සැළකිය යුතු බවය.

මුදල් විශුද්ධිකරණය, ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය එල්ලව ඇති තර්ජනවලට එරෙහිව කටයුතු කිරීමේදී නීතිමය, නියාමන සහ කි‍්‍රයාකාරී පියවර ගන්නා මෙම කාර්ය සාධක බලකාය, තම නිර්දේශ නිසි අයුරින් රටවල් පිළිපදින්නේ ද යන්න පිළිබඳව ද අධීක්ෂණය කරයි.

මෙම කාර්ය සාධක බලකාය සමග එක්ව කටයුතු කිරීමට ශී‍්‍ර ලංකාව 2017 ඔක්තෝබර් මාසයේදී එකගත්වය පළ කළ අතර ඊට අදාළව ඇති නිර්දේශ 40ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.