Language Switcher

V2025

ජාත්‍යන්තර වෙළඳපොල ජයගැනීම පහසු කරන ගිවිසුමකට : ඇමති මංගල අත්සන් තබයි

ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පහසුවෙන් පිවිසීමට හැකි වන පරිදි කුඩා රටවල් සඳහා වන වෙළෙඳපොළ මූල්‍ය සංචිතයක් ස්ථාපනය කිරීම සඳහා මූල්‍ය දායක්තවය දැක්වීමේ ගිවිසුමකට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වන අතර ඊට අනුව බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන 25 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැති හමුවක දී මෙම ගිවිසුම අත්සන් තැබීම සිදුව ඇත.

එසේම එම නිවේදනයේ දැක්වෙන ආකාරයට 2013 වසරේ කොළඹ පැවැති 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී කුඩා රටවල සංවර්ධනය සඳහා වාණිජ මූල්‍යනය ක්‍රමයක අවශ්‍යතාව අවධාරණය වූ අතර එහි දී කුඩා රටවල් සඳහා ඇ.ඩො. මිලියන 5ක මූල්‍යනය පහසුකම් සැලසීමේ ක්‍රමයක් ද හඳුන්වා දෙන ලදී.

මේ හරහා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් කුඩා රටවලට ඉදිරි වසර තුන තුළ දී ඇ.ඩො. මිලියන 300ක් දක්වා වූ වෙළෙඳ මූල්‍යන ආධාර පහසුකම් සැලසිය හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම මූල්‍යනය පහසුකම් සැලසීම සඳහා වන ගිවිසුමට 2015 වසරේ දී එවකට විදේශ අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා අත්සන් තබා ඇති අතර මේ දක්වා ශ්‍රී ලංකාව මේ වෙනුවෙන් ඇ.ඩො. ලක්ෂ 15ක දායකත්වයක් ලබා දී ඇත.

 පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් කුඩා රටවල නිෂ්පාදන හා වෙළෙඳපොළ අවස්ථා සීමිත බැවින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ මෙම තීරණය මගින් පොදු රාජ්‍ය මණ්ඩලීය අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ කැපවීම ප්‍රදර්ශනය වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර එහිදී සඳහන් කළ බවද වාර්තා වන අතර අදාළ ගිවිසුම්වලට ඉන්දියාව, මොරිෂස් සහ මෝල්ටාව යන රටවල් ද අත්සන් තැබූ බවද වාර්තා වෙයි.