Language Switcher

V2025

යහපත් ව්‍යාපාරික නියැළීම් සාමය සහ යහපාලනය සඳහා උත්ප්‍රේරකයක් - ජනාධිපති

සමස්ථ ලෝකයම පාහේ පිරිසිදු හරිත චර්යාවන් සහ තිරසර ශක්තීන් නිර්මාණය කිරීමේ ලා වෙහෙස දරමින් සිටීන පසුබිමක ලංකාවද නීල-හරිත ආර්ථික වැඩපිළිවෙළ හරහා  පරමාදර්ශී රටක් බවට පත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

 පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සමගාමීව ලන්ඩන් නුවර පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය කරමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

 යහපත් වූ ව්‍යාපාරික නියැළීම් සාමය සහ යහපාලනය සඳහා වූ උත්ප්‍රේරකයක් බවත් ඒ තුළින් සමාජ වගකීම් ප්‍රතිෂ්ඨාපනය කළ යුතු අතරම එය නීතියේ ආධිපත්‍යයට අනුකූල වන අතරම සම්පූර්ණයෙන් දූෂණය බැහැර වූවක් විය යුතු බවත්  එවන් වූ ක්‍රියාමාර්ගයන් අදාළ වර්ධනය සහ පොදු වූ සෞභාග්‍යය ළඟා කරනු ඇති බවත් එහිදී ජනාධිපතිවරයා පවසා ඇත.

 පොදුරාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය කරමින් ජනාධිපතිවරයා සිදුකළ කතාව පහත පළවේ. 

 මෙම පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සංසදයේ දී රජය, ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය යන ක්ෂේත්‍රයන්හි  ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ, මම විශ්වාස කරන පරිදි, වර්තමානයේ දී ඉතා වැදගත් හා කාලෝචිත කරුණක් පිළිබඳව ආමන්ත්‍රණය කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වෙමි.

 සමාජයීය සාධාරණත්වය තිබෙන, සමෘද්ධිමත් හා තිරසර සමාජයක් සහිත ලෝකයක් බිහිකිරීම සඳහා 2030 වසර සඳහා තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යායපත්‍රයක් අනුගමනය කරමින් තිරසාර අනාගතයක් සඳහා පොදු පිළිවෙතක් අනුගමනය කිරීමට 2015 දී ලෝක ජාතීහු එකඟ වූහ.

 අප එකඟ වූ ක්‍රියාකාරී සැලැස්ම අතිශයින් දිරිමත් කරනසුලුය. එබැවින් මෙම අපේක්ෂාසහගත සංවර්ධන සැලසුම සාර්ථක ලෙස ක්‍රියාවට නංවා එයට ජීවය දීම අතිශයින්ම වැදගත්ය.

 දරිද්‍රතාවය මුලිනුපුටා දැමීම සඳහාත්, දේශගුණික විපර්යාසයට මුහුණ දීමටත්, සාමකාමී සමාජයක් ගොඩනැඟීමටත් ප්‍රධාන පාර්ශ්වකරුවන් එකට එකතුවී කටයුතු කළ යුතු බවට එකඟත්වයක් ඇති විය. මෙයට ආණ්ඩු පමණක් නොව, ව්‍යාපාර සහ   සිවිල් සමාජ ප්‍රජාවන් ද අයත් වේ. 

 ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රාථමික වගකීම රජය සතුවේ. බොහෝ රටවල්වල මෙන් ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය ප්‍රධානියා සහ රජය මෙම වගකීම් හි ප්‍රමුඛත්වය පෞද්ගලිකවම දරයි. අන්තර්ග්‍රාහී තිරසර ව්‍යාපාර ආකෘති තුළින් තිරසර සංවර්ධනයක් කරා ගමන් කළ හැකි  අතරම, මෙම ව්‍යාපෘතීන් දීර්ගකාලීන වීම ද ඉතා වැදගත් වේ.

 යහපත් වූ ව්‍යාපාරික නියැළීම් සාමය සහ යහපාලනය සඳහා වූ උත්ප්‍රේරකයක් වේ. ඒ තුළින් සමාජ වගකීම් ප්‍රතිෂ්ඨාපනය කළ යුතු අතරම එය නීතියේ ආධිපත්‍යයට අනුකූල වන අතරම සම්පූර්ණයෙන් දූෂණය බැහැර වූවක් විය යුතුය. එවන් වූ ක්‍රියාමාර්ගයන් අදාළ වර්ධනය සහ පොදු වූ සෞභාග්‍යය ළඟා කරනු ඇත.

 තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට අතිශය අවැසි යටිතල ව්‍යූහය ඇතිකරලීම සඳහා පොදු සහ පෞද්ගලික සහයෝගීතාව වර්ධනය වනු දැකීම දිරිගන්වන සුලුය.

 සමාජීය ලෙස වගකීම් සහගත පුද්ගලයන් ලෙස ඔබ සියලුදෙනා සිය ව්‍යාපාරයන්හි  නියැළීම්වලදී තාක්ෂණික සහ මූල්‍යමය දායකත්වය තුළින් තිරසර සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීමට දායක වන ලෙස ඉල්ලීමට මා මෙය අවස්ථාවක් කරගනිමි.

 අද වන විට ලොව පිරිසිදු හරිත චර්යාවන් සහ තිරසර ශක්තීන් නිර්මාණය කිරීමේ ලා වෙහෙස දරමින් සිටී. තිරසර සංවර්ධන අරමුණු හඳුන්වාදීම සඳහා එකම ප්‍රමිතියෙන් යුත් පිවිසීමක් නොමැති අතර එක් එක් රටවල් තම මාවත එකී රටවල් විසින්ම නිර්මාණය කොටගෙන ඇත. 

 ශ්‍රී ලාංකීය රජය, තිරසර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීමේ ජාතික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම වේගවත් සහ යාවත්කාලීන කිරීම සඳහා තිරසර සංවර්ධනය පිළිබඳ විශේෂ වූ අමාත්‍යාංශයක් පිහිටුවා ඇත.

 අප රජයේ නීල-හරිත ආර්ථික වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සහ අනෙකුත් ස්වාභාවික සම්පත්වල සම්පූර්ණ උපයෝගීතාවය පරිසරහිතකාමී සහ තිරසර භාවිතයෙන් යුතුව සනාථ කරනු ඇත.  

 මෙම ආර්ථික උපක්‍රමය හරහා වූ යහපත් ක්‍රමවේද ආමන්ත්‍රණය කිරීමේ පරමාදර්ශී රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කෙරේ.

 මා මෙහි සහභාගිවී සිටින සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ අනෙකුත් රටවල් සමඟ අත්වැල් බැඳගනිමින්, සමාජීය වගකීම සහ සමාජ අන්තර්ගතය සපථ කිරීමට කටයුතු කරන ලෙසටය.

 සිය ජනතාවන්ගේ උපරිම තෘප්තිය ඇති කිරීම උදෙසා සමාජ වගකීම දිනාගැනීමේ අරමුණ එමඟින් සාක්ෂාත් කරගැනීම සඳහා  සියලුම ව්‍යාපාරික ප්‍රජාව සහ රජයේ සහයෝගීතාවය මෙම කොටස්කරුවන් මත රැඳී පවතී. එම යහපත් ක්‍රමවේදය කරා මාවත විවර කරගැනීමට මෙහි සිටින සියලුදෙනාම කැපවීමෙන් සහ සැලසුම්සහගතව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමි.

ස්තූතියි!