Language Switcher

V2025

ආරක්ෂක අංශවල මහාපරිමාණ ව්‍යාපාර නිසා වෙළඳපොල විකෘති වෙලා !

රාජ්‍ය ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යනු ලබන  වෙළෙඳාම් හා කෘෂිකර්මාන්ත ව්‍යාපාර  ඒකාධිකාර බවට පත්වීමේ අවදානම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම පොදු ජනතාවගේ ජීවිකාවටද එල්ලවී ඇති හානිදායක බලපෑම ගැන ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය නගා සිටුවීම අරමුණු කොටගත්, නීති අධ්‍යයනය සඳහා වන දකුණු ආසියා මධ්‍යස්ථානය (SACLS) සමීක්ෂණ වාර්තාවක් එළිදක්වා ඇත.

වැඩිම අවධානම උතුරු නැගෙනහිර ජනතාවට 

පශ්චාත් යුද සමයේ ආර්ථික ක්‍රියාකාරිත්වයක් නැති තැනක ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාරවලට හමුදා ආයතන ඇතුල්වීම නිසා ඇතිවී තිබෙන අයහපත් බලපෑම “බලය සහ ලාබය: ශ්‍රී ලංකාවේ හමුදා ව්‍යාපාර පිළිබඳ ගවේෂණය” නම් පිටු 46 කින් අදාළ වාර්තාව සමන්විත අතර ඊට අනුව මෙහි වැඩිම අවධානමක් මතුව තිබෙන්නේ හමුදාකරණයට යටත්වී සිටින උතුරු නැගෙනහිර ජනතාව වෙතය. 

රාජයේ ආරක්ෂක අංශ තරු පංතියේ සංචාරක හෝටල්, කෘෂිකාර්මික ව්‍යාපාර,  විනෝදාස්වාද කර්මාන්තය ඇතුළු විවිධාකාර  ව්‍යාපාර වල යෙදෙමින් කෝටි ගණනින් ලාබ උපයන බවත් පශ්චාත් යුද පසුබිමේ ශ්‍රී ලංකා රජය විශාල හමුදාවක්  වෙනත් කර්මාන්ත වෙත යොමුකර වැටුප් ගෙවමින් නඩත්තු කරන ආකාරයද  එහි දක්වා ඇත.

figure11

 එසේම රාජ්‍ය අනුග්‍රහයෙන් ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යන ව්‍යාපාර පරිපාලනය හෝ නෛතික අධීක්ෂණය හෝ කෙරෙන ආකාරයක් දැනගන්නට නැති බව පෙන්වා දෙන එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  මෙම ව්‍යාපාර තුළ සැලකිය යුතු මුල්‍ය ගනුදෙනු සිදුකරන නමුත් ඒවා සිදුවන්නේ  විගණකාධිපතිට හෝ පොදු මහජනතාවට හෝ වගකීමෙන් තොරව බවය. රාජ්‍ය සම්පත් යොදා ගනිමින් ආරක්ෂක අංශ මහත් ලාබ උපයන නිවාඩු නිකේතන, සංචාරක හා හෝටල් කර්මාන්තයට මහා පරිමාණයෙන් ඇතුල් වීම ඔවුන්ගේ නිල රාජකාරිය වන “ආරක්ෂාව සහ ජාතිය  ගොඩනැගීමට” කිසිදු සම්බන්ධයක් නැති බව පෙන්වා දෙන එම වාර්තාව ඒ තුළ වෙළෙඳපොල විකෘති කිරීමක්, සාමාන්‍ය වැසියන්ගේ ආර්ථික ඉඩප්‍රස්තා අහිමි කරලීමක් සිදුව ඇති බවද දක්වා ඇත.

 ඒ අනුව අදාළ වාර්තාව වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ මෙම වෙළඳපොළ විකෘතිය නැති කිරීම සඳහා අදාළ  ව්‍යාපාර රජයට හෝ පෞද්ගලික අංශයට පවරන ලෙසය.  

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රගති වාර්තා අනුව 2014 වසරේ රුපියල් මිලියන 371.5 ක මුදලක් ඉපයූ ඔවුන්ගේ ආදායම 2016 වසරේ රුපියල් මිලියන 821.8 දක්වා වේගයෙන් ඉහල ගොස් ඇති ආකාරය.
chart1

නීති අධ්‍යයනය සඳහා වන දකුණු ආසියා මධ්‍යස්ථානය (SACLS)  නිකුත් කර ඇති වාර්තාව