Language Switcher

V2025

වරාය ඇමතිට දත්ත වැරදිලා - නැව් සමාගම් කියයි

නාවුක කර්මාන්තය සහ ඒ ආශ්‍රිත භාණ්ඩ පරිවහණ කටයුතු හරහා මෙරටට ඩොලර් මිලියන 800කට අධික ආදායමක් ලැබෙන බවට වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පවසන කතාව මුළුමනින්ම අසත්‍යක් බව වාර්තා වෙයි.

newstube.lk වෙත අදහස් දැක්වූ නාවුක සමාගම් කිහිපයක නියෝජිතයින් මේ බව සඳහන් කර සිටි අතර එහිදී ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ මෙරට දේශීය නාවුක සමාගම් 500ක් ඇති බවත් ඒවා තුළ 12000 කට අධික සේවක සේවිකාවන් ප්‍රමාණයක් සේවයේ නිරත බවට දක්වන වාර්තා නිවැරදි නොවන බවය.

එසේම මෙරට නාවුක කර්මාන්තයේ නියැලීම සඳහා විදෙස් සමාගම් වලට ඇති සීමා ඉවත් කිරීමට බියෙන් පසුවන්නේ මේ වන විටත් නාවුක කර්මාන්තයේ කතිපධිකාරයක් ගොඩනගාගෙන ඇති සමාගම් කිහිපයක් බවත් ඒ හැර වෙනත් කිසිඳු සමාගමක් එවැනි නීති සංශෝධනයකට විරුද්ධ නැති බවද ඔවුන් සඳහන් කර සිටියි.

එසේම දැනට නාවුක ක්ෂේත්‍රයේ පවතින කතිපයාධිකාරය මෙරට නාවුක කර්මාන්තයේ වර්ධනයට හේතු වනවාද ? ඒ තුළ වාසි ගනිමින් සිටින්නේ කවුද? මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝණය කරමින් සමාගම් දෙකතුනක් පවත්වා ගෙන යන කතිපයාධිකාරය වෙනස් නොකරන්නේ මන්ද? එම සමාගම් සහ පැවති ආණ්ඩුවේ සහ වත්මන් ආණ්ඩුවේ ඇතැම් දේශපාලකයින් අතර ඇති සම්බන්ධතා මොනවාද? යන්න ගැන සොයා බැලීම වරාය සහ නාවුක අමාත්‍යවරයාට මෙන්ම ඇත්ත දැනගැනීමට කැමති සියලු දෙනාට වැදගත් බවද ඔවුන් සඳහන් කර සිටියි.

2018 අයවැය යෝජනා හරහා ඉදිරිපත් කර ඇති නාවුක කර්මාන්තයට අදාළ යෝජනා සම්බන්ධව අප කල විමසීමකදී ඔවුන් මෙම අදහස් දැක්වූ අතර සමාගම් කිහිපයක් යටතේ ඇති කතිපයාධිකාරය ඉවත්කර වැඩි වැඩියෙන් සමාගම් වෙත නාවුක කර්මාන්තය විවෘත කිරීම් හරහා හොඳ වෙළඳපොල තරගයක් තුළ නාවුක කර්මාන්තයේ ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක වර්ධනයක් ඇතිකරගත හැකි බවද ඔවුන් පැවසීය.

එසේම නව අයවැය යෝජනාවට විරුද්ධ පාර්ශව නාවුක කර්මාන්තයේ බිඳ වැටීමක් ගැන සඳහන් කර සිටියත් පවතින සීමා ලිහිල් කිරීම තුළ සමාගම් වැඩිවීම, රැකියා අවස්ථා වැඩිවීම සහ වැටි ප්‍රමාණයක මෙහෙයුම් සිදුවීම තුළ කර්මාන්තයේ කඩාවැටීමක් ඇතිවන්නේ කෙසේද යන්න ගැන පැහැදිළි කල යුතුව ඇති බවද සඳහන් කර සිටියි.