Language Switcher

V2025

නාවුක කර්මාන්තය සමාගම් 5කට නතුවීම යහපත් නෑ -ඇමති මංගල

සමාගම් පහක් විසින් මෙරට නාවුක කර්මාන්තය පාලනයට ගෙන ඇති බවත් ආයතන කිහිපයක යහපත ගැන සිතා කටයුතු කිරීම යහපත් නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ 9 වනදා පාර්ලිමේන්තුවේ පැවති මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව සිදුකරමින්ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ නාවුක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර ලිහිල්කරණය කිරීමට යෝජනා කිරීම සම්බධව ඇතැම් සමාගම් විරුද්ධත්වය පළකර සිටියත් ස්වාධීන නියාමන යාන්ත්‍රණයක් යටතේ නාවුක කටයුතු ලිහිල්කිරීම සම්බන්ධව පෙර අවස්ථා ගණනකදීද යෝජනා වී තිබූ බවය.

එසේම එවැනි ක්ෂේත්‍ර ලිහිල්කරණය කිරීමේ අපේක්ෂාව තරගකාරී වෙළඳ රටාවක් සකස්කර ගැනීම සඳහා බවත් පවතින පැරණි නීති සංශෝධනය කිරීම එහි එක් පියවරක් බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

ජනතා අනුමැතිය වැදගත්

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “2018 නීල හරිත ආර්ථිකයක්” අයවැය යෝජනා සකස් කරනු ලැබුවේ වෘත්තීය කණ්ඩායම් ඇතුළු විවිධ පාර්ශව වල අදහස් ලබා ගැනීම හරහා බවත් ජනතා අනුමැතියකින් තොරව කිසිඳු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකරන බවය.

එසේම සමාජ ආරක්ෂණය සහිත රජයක වැදගත් කම පිළිගනිමින් රජය සෑම විටම අඩු වරප්‍රසාද ලත් අය රැක බලාගන්නා බවත් අයවැය තුළින් එවැනි ආරක්ෂණයන් සලසාදීම වෙනුවෙන් විධිවිධාන සළසා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

දේශීය ව්‍යවසායකයන්ට වැඩි වාසි

සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය ආකාරයට නිෂ්පාදන ගම්මාන ලෙස දියුණු කළ හැකි ග්‍රාම නිලධාරී වසම් හදුන්වා ගෙන ඒවාට අවශ්‍ය තාක්ෂණ පහසුකම් ලබාදෙන බවත් විදේශ වෙලඳපොළ ඉලක්ක කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් දේශීය ව්‍යවසාකයන්ට වැඩි අවස්ථා ලබාදීමට සහ අපනයනය සඳහා වැඩි අවස්ථා ලබාදීම සම්බන්ධවද 2018 අයවැයේ විශේෂ අවධානයක් යොමුව ඇති එහිදී අමාත්‍යවරයා පවසා ඇත.