Language Switcher

V2025

“ලංකා තේ” රුසියාවේ තහනම් !

තේ ඇතුළු ශ්‍රී ලංකාවේ ආනයනය කරන කෘෂි නිෂ්පාදන සඳහා තාවකාලික තහනමක් පැනවීමට රුසියාව තීරණය කර ඇත.

2018 අගෝස්තු 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම තහනම පනවා ඇත්තේ මෙරටින් ආනයනය කළ ඇසුරුම් කළ තේවල කප්රා නම් කෘමි විශේෂයක් හමුවී ඇති නිසාය.

රුසියානු කෘෂිකාර්මික ආරක්ෂණ අධිකාරී Rosselkhoznadzor Chanturia විසින් මේ බව නිවේදනය කර ඇත.

එසේම රුසියාවේ තේ ඉල්ලුමෙන් 23%ක් සම්පුර්ණ වන්නේ ශ්‍රී ලාංකීය තේ හරහා බවත් එය රුසියාවේ තේ ඉල්ලුමට ගැටළුවක් විය හැකි තත්ත්වයක් බැවින් ශ්‍රී ලංකාවට දැඩි කොන්දේසි පනවා හෝ අදාළ තීරණය සම්බන්ධව නැවත සලකා බලන ලෙස රුසියානු තේ වෙළඳුන් දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

එහෙත් රුසියානු කෘෂිකාර්මික ආරක්ෂණ අධිකාරියේ අදහස වී ඇත්තේ ශ්‍රී ලංකාවට අමතරව රුසියාවේ අංක එකේ තේ සැපයුම්කරුවා වූ ඉන්දියාව ඇතුළුව කෙන්යාව, චීනය, වියට්නාමය වැනි රටවල් හරහා රුසියානු තේ ඉල්ලුම සමනය කරගත හැකි බවය.

කෙසේ වුවත් මෙරටින් රුසියාව වෙත අපනයනය කරනු ලබන කෘෂි නිෂ්පාදන සියල්ල වෙත මෙම තහංචිය බලපාන අතර එම තත්ත්වය මෙරට අපනයන වෙළඳපොලට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇති බව වෙළඳපොළ විශ්ලේෂකයින් සඳහන් කරයි. එසේම මීට පෙරද කසල තේ අපනයනය සම්බන්ධවද ශ්‍රී ලංකාවට චෝදනා එල්ලවූ බවත් දිගින් දිගටම මෙවැනි චෝදනා එල්ලවීම කර්මාන්තයට හානිකර බවද ඔවුන් පෙන්වා දෙයි.

2017 වසරේ මුල් මාස දහය තුළ පමණක් ඩොලර් මිලියන 436ක වටිනාකමකින් යුතුව තේ ටොන් 141300ක් රුසියාව මෙරටින් ආනයනය කොට ඇත.

මේ අතර වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරන්නේ අදාළ කෘමි විශේෂය සහල් ගබඩා ආශ්‍රිතව වෙසෙන බවත් ගැටලුවට තුඩුදී ඇති තේ බහාලුම මීට පෙර ධාන්‍ය ප්‍රවාහනයට යොදාගෙන ඇති එකක් බව වාර්තා වී ඇති බවය. එනිසා මෙය මෙරට තේ වල ප්‍රශ්නයක් නොවන බවත් ඒ පිළිබඳ රුසියානු බලධාරීන් සමඟ කඩිනමින් සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යංශය සඳහන් කර සිටියි.