Language Switcher

V2025

විදේශ සංචිතය ඩොලර් බිලියන 8.4ක් දක්වා වර්ධනය වෙලා !

ජූලි මස අවසානය වන විට අප රටේ දළ විදේශ සංචිතය අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 8.4ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කරයි.

වසර 2017 අවසානයේ රටේ දළ නිල සංචිතය ඩොලර් බිලියන 8.0 ක්ව පැවැති බව කී අධිපතිවරයා, ඉදිරියේදී විදේශ සංචිතය ඉහළ යෑමට චීන සංවර්ධන බැංකුව මගින් ලබාගන්නා ඩොලර් බිලියන 1.5ක මුදල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පස්වැනි අදියරේ මුදල් ලැබීම,  විදේශ ආයෝජන ගලා ඒම සහ ඩොලර් බිලියන 1ක් වටිනා ස්වෛරීත්ව බැඳුම්කරයක් නිකුත් කිරීම මූලික වශයෙන් හේතුවන බව ද කියා සිටියේය.

වසර 2018 නිමාවන විට මෙම සංචිත ඩොලර්  බිලියන නවය දක්වා ඉහළ යනු අැතැයිද  අධිපතිවරයා අනාවැකි පළ ක‍ෙළ්ය.

කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලස්ථානයේ පසුගියදා පැවැති ‍මුදල් ප්‍රතිපත්ති තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කෙළේය.

මෙහි දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි කාලයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කළ අධිපතිවරයා, යහපත් කාලගුණික තත්ත්වයන් හේතුකොට ගෙන 2018 වසරේ දෙවැනි භාගයේ දී කෘෂිකර්මාන්තයේ වර්ධනයක් සිදුවනු ඇතැයි ද, සමස්තයක් ලෙස ආර්ථිකය සියයට 4.0 කින් වර්ධනය වනු ඇතැයි ද කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මේ වසරේ ජූලි මස නිකුත් කළ ලෝක ආර්ථික දැක්මෙහි පවා දක්වා තිබෙනුයේ නැඟී එන ආර්ථිකයන් සහිත රටවල් ආර්ථික වර්ධනයක් සිදුවන බවය.

ශ්‍රී ලංකාව මෑතක දී රත්‍රන් හා කුඩා වාහන ගෙන්වීමට වැය වන අධික විදේශීය විනිමය නතරකොට දැමීම ඉලක්කකොට සිදුකළ ආනයන හා නිෂ්පාදන බදු සංශෝධනය නිසා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මන්දගාමී වීමට හේතු වී ඇතැයි ද අධිපතිවරයා කීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වත්මන් ආර්ථික ක්‍රියාකාරීත්වය සලකා බලා ‍තව දුරටත් ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව තබාගැනීමට තීරණය කළ බව ද අධිපතිවරයා සඳහන් කෙළේය.

දේශීය ඛනිජ තෙල් මිල ඉහළ නැංවීම, මිල උච්ඡාවචනය සහිත ආහාර මිල ගණන් ඉහළ යෑම මත මෑතක දී උද්ධමනය ඉහළ ගියද, මේ වසර නිමවන විට එය සියයට 4.6 මට්ටමේ පවතිනු ඇතැයි ද අධිපතිවරයා මෙහි දී අනාවැකි පළ කෙළේය.