Language Switcher

V2025

e ෂෝර්ට් නෝට්2: රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනා

2017 වර්ෂයට අදාළ රාජ්‍ය සංස්ථා සහ රජය සතු සමාගම් වල සේවයේ නිරත කාර්ය මණ්ඩලවලට ප්‍රසාද දීමනා ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මෙවර ප්‍රසාද දීමනාවේ උපරිමය රුපියල් පහළොස් දාහක්ය. අවමය රුපියල් තුන්දහසක්ය.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.ඒ .හසන් ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට අනුව ඛාණ්ඩ හතරක් යටතේ මෙම ප්‍රසාද දීමනා ලබාදීමට නියමිතව ඇත.

ඒ 1. “පෙර වර්ෂයේ අලාභදායි තත්ත්වයන් වළක්වා මෙම වර්ෂය තුළ දී ලාභය උපයාගෙන ඇති දිරි දීමනා ගෙවනු නොලබන ආයතනවල සේවකයන් වෙනුවෙන් රුපියල් 15,000ක් ප්‍රසාද දීමනා ලෙස ගෙවිය හැකි ය.

2. පෙර වර්ෂයේ පැවැති අලාභදායි තත්ත්වය මෙම වර්ෂය තුළ දී ලාභදායී තත්ත්වයට පත් කරගෙන ඇති දිරි දීමනා ගෙවා ඇති ආයතනවල සේවකයන් වෙනුවෙන් රුපියල් 13,500ක ප්‍රසාද දීමනාවක් අනුමත කර ඇත.

3.අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කළ ද පෙර වර්ෂයට සාපේක්ෂව අලාභය අවම කරගෙන ඇති ආයතනවල සේවකයන් වෙත මෙතෙක් ගෙවූ රුපියල් 3,000 ප්‍රසාද දීමනාව රුපියල් 5,000ක් දක්වා වැඩි කර ගෙවීමට අනුමැතිය ලබා දී තිබේ.

4.අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කර එම අලාභය පෙර වර්ෂයට වඩා අඩු කර ගැනීමට නොහැකි වූ ආයතනවල සේවකයන් වෙනුවෙන් රුපියල් 3,000ක ප්‍රසාද දීමනා හිමි වෙයි.

වශයෙන්ය.

රජයේ රස්සාවක් කිරීම ඇතැමුන්ගේ සිහිනයක් වන අතර තවත් සමහරුන් රාජ්‍ය සේවය දෙස බලා බත් කන්නත් කැමති නැත. කැමැත්ත කියන දේ ගැන එක් එක් පුද්ගලයන්ට විවිධ අදහස් ඇත. ඒ නිසා පෞද්ගලික රුචි අරුචිකම් මෙතැනට අදාළ නැත.

නමුත් රටේ ආර්ථිකයත් රාජ්‍ය සේවයත් අතර ඇත්තේ දැඩි සම්බන්ධයකි. පසුගිය වසර කිහිපය තුළ විශ්‍රාම වැටුප් ගෙවීම පවා හය ගුණයකින් වර්ධනය වී ඇත. එසේම ඉහත ප්‍රසාද දීමනා පවා කාර්ය සාධනය සහ ප්‍රගතිය පදනම් කරගෙන සකස්කර ඇති නමුත් පාඩුව අවම කරගනු ලබන ආයතනයේ සේවකයාට පසුගිය අවස්ථාවන්ට වඩා රුපියල් 2000ක වැඩිපුර ප්‍රසාද දීමනාවක් ලබාදී ඇත. පාඩු ලබන ආයතන වල සේවකයන්ට පවා රුපියල් 3000 ක අවම ප්‍රසාද දීමනාවක් හිමිව ඇත.

ඒ කියන්නේ රාජ්‍ය සේවකයා සාමාන්‍ය රැකියාවක් කරන අයෙකුට වඩා සැලකිය යුතු සමාජ ආරක්ෂණයක් ලබන බවය. එනම් ඔහුගේ හෝ ඇයගේ සේවය සැළකිල්ලට නොගෙන සමස්ථ රටේ ජනතාවගේ බදු මුදලින් ඔවුන් නඩත්තු කරන බවය. වේලක් අතපසු කරන්න සීනි අල්ලට ගෙන කහට කෝප්පය බොන අය පවා ඊට දායකවී ඇත. ඒ සියල්ල පසුපස ඇති එකම අපේක්ෂාව රාජ්‍ය සේවකයා සමස්ථ රාජ්‍යයේ ජනතාව වෙනුවෙන් සිය සේවය නිසිලෙස ලබාදෙනු ඇති බවය.

ඒ හැර පාඩු ලබන ආයතනයක සේවකයෙකුට ප්‍රසාද දීමනා ගෙවීමට තමන්ගේ බදු මුදල් ගැනීම අසාධාරණ බව කියා කවුරුත් කෑ ගහන්නේ නැත. ඒ පසුබිමේ රාජ්‍ය සේවක සියලුම දෙනාටද වගකීමක් ඇත. එනම් එක් එක් රාජ්‍ය සේවකයා තමන් සතු වගකීම නිසි ලෙස ඉටුකිරීමය. වැඩි දෙයක් අවශ්‍ය නැත, ලොක්කන් සමඟ හැපීමට යාමේදී පොඩි මිනිහාව නොතලන්න වගබලා ගන්න. දැනට ඒ හොඳටම ප්‍රමාණවත්ය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

ceb f 1

ceb f 2