Language Switcher

V2025

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ගැන තරුණියක් කී කතාව 

ව්‍යාපාරයක් ආරම්භ කිරීම හා එම ව්‍යාපාරය සාර්ථකත්වය කරා ගෙන යාම පහසු ක්‍රියාවලියක් නොවේ. ඒවා සුළු හෝ මහා පරිමාණ ව්‍යාපාර වුවද මූල්‍ය බාධක ඇතුළු බොහෝ බාධකයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ලංකා බැංකු තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය” මගින් මෙම මූල්‍ය ගැටළුවලට මුහුණදීමට හා ඔවුන්ගේ ව්‍යාපාරික සිහිනය සැබෑ කර ගැනීමට ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ට අවස්ථාව ලබා දී ඇත. මෙය තුරුණු දිරිය ණය ලබා ගත් ණයලාභියෙක් පිළිබද විස්තරයයි.

24 හැවිරිදි සදලි කුලතුංග  තරුණ ව්‍යවසායිකාව

දඹුල්ල කිඹිස්සෙහි පදිංචි 24 හැවිරිදි සදලි කුලතුංග මහත්මිය තරුණ ව්‍යවසායිකාවකි. ඇය තම වෘත්තිය ලෙස “සදලි ප්ලාන්ට් නර්සරි” නමින් පැල තවානක් පවත්වාගෙන යනු ලබයි.  දරුවන් පස්දෙනෙකුගෙන් සමන්විත පවුලක එකම දියණිය වූ ඇය දඹුල්ල වීර මොහාන් ජය මහ විද්‍යාලයේ අ/පො/ස සාමාන්‍ය පෙල හදාරා පසුව ඉනාමලුව තාක්ෂණික විද්‍යාලයෙන් ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම් 04(NVQ), පැළ තවාන් සංවර්ධන සහයක සහතික පත්‍ර පාඨමාලාව සහ මාතර දිස්ත්‍රික් වෘත්තීය පුහුණු ආයතනය මගින් පවත්වනු ලැබු බිම් අලංකරණය හා ගෙවතු වගාව පිළිබද පාඨමාලාවක් හදාරා ඇත. 

මෙම පාඨමාලාවන් හරහා එක් රැස් කරගත් දැනුම් සම්භාරය උපයෝගී කොටගෙන ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන තම පියාගේ මාර්ගෝපදේශකත්වය යටතේ ත්‍රිකුණාමලය හා දඹුල්ල ප්‍රධාන පාරට මුහුණලා පිහිටි ඇයගේ දෙමව්පියන්ට හිමි අක්කර 04ක භූමි ප්‍රමාණය ප්‍රයෝජනයට ගෙන ඇය විසින් පැළ තවානක් ආරම්භ කරන ලදි.

ව්‍යාපාරය කර ගෙන යාමට  ආර්ථික දුෂ්කරතා  

ඇයට අක්කර 04ක භූමි ප්‍රමාණයක් තම ව්‍යාපාරය කර ගෙන යාම සදහා ලැබුණද ආර්ථික දුෂ්කරතා නිසා පසුගිය වසර කිහිපය තුළ සුළු පරිමාණ ලෙස ඇය තම ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙන ගොස් ඇත. මේ කාලයේ දී ඇයට පැළ තවාන් සංවර්ධනය පිළිබද පාඨමාලාව හැදෑරු තාක්ෂණික විද්‍යාලය හරහා තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය පිළිබදව දැන ගැනීමට ලැබී ඇත. තම ව්‍යාපාරය තවත් පුළුල් කර ගැනීමට මෙම ණය යෝජනා ක්‍රමය මහගු අවස්ථාවක් බව ඇය විසින් වටහා ගෙන ඇත. එනිසා ඊට අදාල ක්‍රියාපටිපාටිය මගින් ඇය මෙම ණය ඉල්ලුම්කර ඇත.

පහසුවෙන් ලැබුණු ලක්ෂ 5ක ණය 

ණය ලබාගැනීම සදහා අවශ්‍ය සියලු කාරණා සම්පූර්ණකර තිබු බැවින් ණය ඉල්ලුම්පත්‍රය හරහා සති කිහිපයකට පෙර ඉතා පහසුවෙන් රු.500000ක  ණයක් ලබා ගැනීමට ඇයට හැකිවිය. මෙසේ ලබා ගත් ණය ඇය විසින් තම ව්‍යාපාරය පුළුල් කිරීමට යොදා ගන්නා ලදි. ඒ අනුව “දඹුල්ල ජල ව්‍යාපෘතිය “ හරහා පහසුවෙන් තම පැළ තවානට ජලය පොම්ප කිරීමට ජල පොම්පයක් මිලදී ගත් අතර  පැළ තැබීමට කුඩා ගෙපැලක් ද  ව්‍යාපාර කටයුතු සදහා කුඩා ගොඩනැගිල්ලක්ද ඉදිකරන ලදි.

“මෙම ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය හරහා පහසුවෙන් ණය ලබා ගැනීමට හැකි වූ අතර මෙම ක්‍රියාවලිය පුරා මා හට SEDD මගින් විශාල සහයක් ලබා දෙන ලදි. SEDD දින 02ක් පුරාවට පුහුණු වැඩසටහනක් මගින් ව්‍යවසායකයින්ට ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආකාරය පිළිබදව මගපෙන්වීමක් කරන ලදි. මෙම වැඩසටහන හරහා  නොදන්නා කරුණු රැසක් ඉගෙන ගැනීමට  අපට හැකි වූවා.” ඇය විසින් “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඉතා අගය කොට සලකන ලදි.

අනාගත බලාපොරොත්තුව 

“මාගේ අනාගත බලාපොරොත්තුව වන්නේ අපට හිමි අක්කර 4ක මුළු ඉඩම් ප්‍රමාණය උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන මාගේ ව්‍යාපාරය පුළුල් හා දියුණු කර ගැනීමයි.”ලෙස ඇයගේ අනාගත බලාපොරොත්තුව විස්තර කරමින් ඇය පවසන ලදි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය (PDO), ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කලමණාකරන ඒකකය (CPMU) , තරුණ කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) හා සහයෝගයෙන් ලංකා බැංකුව මගින් ව්‍යාපෘති කලමණාකරනය හා දක්ෂිණ සංවර්ධනය උදෙසා තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලදි. එම ණය යෝජනා ක්‍රමය මගින් ඇපකරුවකු නොමැතිව සහ තරුණ ව්‍යවසායකයින්ට අතිරේක හෝ ලිහිල් කොන්දේසි සහිතව, එනම් උපාධියක් හිමි හෝ පිළිගත හැකි වෘත්තීය සුදුසුකමක් සහ අවම වශයෙන් ව්‍යාපාරය වසර 03ක්වත් පවත්වාගෙන ගොස් තිබීම ආදී සුදුසුකම් මත පදනම් වේ. මෙම ණය යෝජනා ක්‍රමය පිළිබද වැඩිදුර විස්තර දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබා ගත හැක.