Language Switcher

V2025

ඇමරිකානු GSP සහනය යළි ගන්න විදෙස් අමාත්‍යංශය වැඩ

හෙට දිනයෙන් (31) අවසන් වීමට නියමිත අමෙරිකාවට භාණ්ඩ අපනයනය කිරීමේදී ලබාදුන් GSP තීරු බදු සහනය යළි බලාත්මක කරවා ගැනීම සඳහා උත්සහ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ වෙනුවෙන් ඉදිරියේදී රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකිරීමට අපේක්ෂා කරන බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙරට ඇතුලු රටවල් 120 කට ලබා දුන් මෙම තීරු බදු සහනය මෙම වර්ෂය සඳහා කටයුතු කල් තැබීමට පෙර අමෙරිකානු කොංග්‍රසය එය නැවත බලාත්මක කර නොමැති වීම මීට හේතුවී ඇත.

එසේම නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයද එය තහවුරු කර තිබිණ.

ඒ අනුව ඇමරිකානු GSP අවසන්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙන්ම එම සහනය ලැබූ අනෙක් රටවලට අමෙරිකානු වෙළඳපොල වෙත භාණ්ඩ අපනයනය කරන විට 2018 ජනවාරි‍ 01 වන දා සිට වරණීය නොවන තීරු බදුවලට යටත් වීමට සිදුවේ.

2016 වසරේදී මෙරට ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුතු භාණ්ඩ ඇමරිකාවට අපනයනය කර තිබු අතර මෙරට ප්‍රමුඛතම භාණ්ඩ අපනයනය කරන රටද අමෙරිකාව ය.

සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය කර ගැනීම සඳහා අමෙරිකාව මෙම වරණීය තීරු බදු සහන ක්‍රමය ක්‍රියාවට නංවනු ලැබුවේ 1976 වසරේ සිට ය.