Language Switcher

V2025

සංචාරකයන් 50000ක සංචාර කැන්සල්  : මේ නොවැම්බර් මාසයට විතරමයි !

මෙරට ඇතිව තිබෙන දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් නොවැම්බර් මස තුළ පමණක් සංචාරකයන් 50,000ක් සිය සංචාර අවලංගු කරගෙන ඇතැයිද හෝටල් සේවක මධ්‍යස්ථානය හෙළි කර සිටී.

මෙම හේතුව නිසා මහා පරිමාණ හෝටල්, මධ්‍යම හා සුළු පරිමාණ හෝටල් පමණක් නොව මුළු හෝටල් කර්මාන්තයම බිඳවැටීමකට පටන්ගෙන ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හා හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ චානක අධිකාරි මහතා කියා සිටී.

ඔක්තෝබර් මස 26 වැනිදා සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය නිසා යුරෝපා ඇතුළු රටවල් විසිදෙකක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අවදානම් බවට කර ඇති අනතුරු ඇඟවීම් නිසා මේ තත්ත්වය ඇති වී ඇතැයිද හෙතෙම පවසයි.

2017 වසරේ නොවැම්බර් මාසයේදී යුරෝපය ඇතුළු රටවලින් මෙරටට පැමිණි සංචාරකයන්ගේ ගණන එක්ලක්ෂ හැටහය දහසක් පමණ වුවද ඇති වී ඇති දේශපාලන අර්බුදය නිසා මෙම වසරේ නොවැම්බර් මාසයේදී පැමිණි සංචාරකයන් ගණන එක්ලක්ෂ දසදහසකට පමණ සීමා වී ඇතැයිද ඒ මහතා කීය.

ඔක්තෝබර් මාසයේ සිට යුරෝපය ඇතුළු රටවල ඇතිවන සීත කාලය නිසා විශේෂයෙන් ආසියානු රටවලට සංචාරකයන් ඇදී එන කාලය ආරම්භ වන මුත් මේ වන විට එවැනි සංචාර සඳහා දින වෙන් කරගෙන සිටි විදේශ සංචාරකයන් එම පැමිණීම අවලංගු කර ඇතැයි හෝටල් සේවක මධ්‍යස්ථානයේ ජාතික සංවිධානයක බී.අයි. ආබ්ඩීන් මහතා එහිදී පැවැසීය.

සංචාරක කර්මාන්තයේ කඩා වැටීම නිසා විදේශ විනිමය නොලැබී යෑම පමණක් නොව හෝටල් කර්මාන්තයේ නිරත ලක්ෂ දෙකක් පමණ වන සේවකයන් හා ලක්ෂ දහයක් පමණ වන යැපෙන්නන්ද අසරණ තත්ත්වයට ඇද වැටී ඇතැයි ද ඔවුන් පෙන්වා දෙයි.  

newstube.lk  මීට පෙර මේ සම්බන්ධව සිදුකළ අනාවරණය පහත සබැඳිය ඔස්සේ කියවාගත හැකිය.