Language Switcher

V2025

ඇමරිකානු මූල්‍ය ප්‍රදානය පාස්කු ප්‍රහාරයට අදාළ නැත !

පාස්කු ප්‍රහාරය හරහා ලංකාවේ ආර්ථිකයට සිදුවූ බලපෑම සහ ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය 26 වෙනිදා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කිරීමක් සිදුකළේය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ,

“අඳුරු වළාවන් අස්සේ මේ මාධ්‍ය හමුව අවසානයේ හොඳ ප්‍රවෘත්තියකුත් තියෙනවා කියන්න ලංකා ආර්ථිකය පැත්තෙන්ම. ලංකා ඉතිහාසයේ ලංකාවට ලැබුණු විශාලතම ප්‍රදානය ලබාදෙන්නට ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක ඊයේ ඒ අයගේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී තීන්දු කලා. ඒ අනුව අපිට US ඩොලර්ස් 480 ක් ප්‍රධාන ව්‍යාපෘති තුනකට ලැබෙන ලැබෙනවා.“ යනුවෙනි.

මේ කරුණ සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ කටකතා සහ විකෘති කරන ලද කරුණු මත පිහිටා ඇතැමුන් ප්‍රකාශ නිකුත් කරමින් සිටී. විශේෂයෙන් විපක්ෂයේ දේශපාලන නායකයන් සහ ඊට සහයෝගය දක්වන ඇතැම් කණ්ඩායම් ද මේ පිළිබඳ කරුණු විකෘති කරමින් සමාජය නොමග යවමින් සිටී.

එසේම විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කිසිදු කරුණු විමසා බැලීමකින් තොරව අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා ද මාධ්‍ය වෙත වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳ බලවත් කණගාටුව පළ කළ යුතුය.

මොකක්ද මේ මිලේනියම් අභියෝගතා කෝපරේෂන් කියන්නෙ?

ඇමරිකාවේ මිලේනියම් අභියෝගතා කෝපරේෂන් (MCC) යනු, 2004 දී එක්සත් ජනපද කොන්ග්‍රසය විසින් පිහිටුවන ලද ද්විපාර්ශ්වික එක්සත් ජනපද විදේශ ආධාර ආයතනයකි. එය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් සහ ඇමරිකානු ආධාරවලින් වෙන්වූ ස්වාධීන ආයතනයකි. මෙමගින් විදේශ ආධාර ලබා දීම සඳහා සඳහා නව දර්ශනයක් යොදාගැනීම මෙහි ඇති සුවිශේෂත්වයයි.

එකී දර්ශකය මූලික අංශ තුනකට යටත්ව කාණ්ඩ 21ක් පිළිබඳ විමර්ශනය කොට සංඛ්‍යාත්මක බර තැබීමක් සිදුකරනු ලැබේ.

 සුදුසුකම් තෝරා ගැනීමේ දර්ශක

1. ආර්ථික නිදහස

i. මූල්‍ය ප්‍රතිපත්ති

ii. උද්ධමනය

iii. නියාමනයේ ගුණාත්මකභාවය

iv. වෙළඳ ප්‍රතිපත්ති

v. ආර්ථිකයේ ස්ත්‍රී පුරුෂ දායකත්වය

vi. ඉඩම් හිමිකම් හා ප්‍රවේශය

vii. ණය ප්‍රවේශය

viii. ව්‍යාපාර ආරම්භ කිරීම 

2. යුක්තිගරුක පාලනය

i. දේශපාලන අයිතීන්

ii. සිවිල් නිදහස

iii. දූෂණය පාලනය කිරීම

iv. රාජ්‍ය ඵලදායිතාව

v. නීතියේ ආධිපත්‍යය

vi. තොරතුරු දැනගැනීමේ අයිතිය

3. ජනතාව කෙරෙහි ආයෝජනය

i. සෞඛ්‍ය පිරිවැය

ii. ප්‍රාථමික අධ්‍යාපනයේ පිරිවැය

iii. ස්වාභාවික සම්පත් ආරක්ෂණය

iv. ප්‍රතිශක්තිකරණ අනුපාතය

v. ද්විතීයික අධ්‍යාපන ප්‍රවේශයේ බාලිකා අනුපාතය

vi. ළමා සෞඛ්‍ය

උක්ත දර්ශක 20 තුළින් අවම දර්ශක 11කට වැඩි ප්‍රමාණයක් සාර්ථක වී ඇති රටවල් ඇමරිකානු සහස්‍රක සංවර්ධන අභියෝගතා කෝපරේෂන් මූල්‍ය ප්‍රදානයන් සඳහා හිමිකම් කියනු ලැබේ.

එකී මුල්‍ය ප්‍රදානයන් ලබාදීමේ මූලික කොන්දේසිය වනුයේ, ඔවුන් නියම කරන කාලය තුළ අදාළ වැඩසටහන් සම්පූර්ණ කොට අවසන් කිරීමයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන ලද නියාමන දර්ශක විමර්ෂණයට අනුව 2019 වර්ෂයේ දී දර්ශක 13ක සක්‍යතාව මත ඇමරිකානු ඩොලර් 480ක මූල්‍ය ප්‍රදානය ලංකාවට හිමි වී ඇත.

 ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ඇත්ත කතාව

ඇමරිකාවේ සහස්‍රක සංවර්ධන අභියෝගතා සංස්ථාව (MCC) ආරම්භක කාලසීමාවේදීම ශ්‍රී ලංකාව එහි ප්‍රදානයන් සඳහා ඉල්ලුම් පත් ඉදිරිපත් කර ඇත. නමුත් රටේ පැවැති සමාජ වාතාවරණය හමුවේ එ් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමක් සිදුව නැත.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ මේ සඳහා ඉල්ලුම් කිරීමක් කර ඇති නමුත් එම උත්සාහය ද ව්‍යර්ථ වී ඇත.

2015 මේ ආණ්ඩුව පත් වූ පසුව නැවතත් MCC ප්‍රදානයන් සඳහා ඉල්ලුම් කිරීමක් සිදුකරන ලදී. ඒ අනුව 2016 දී මුල්ම මිලේනියම් අභියෝගතා කෝපරේෂන් නියෝජිත පිරිසක් ලංකාවට පැමිණ මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම ආරම්භ කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාව 2017 - 2018 කාලසීමාවේ ඔවුන්ගේ නියාමන දර්ශක 20න් 13ක සාර්ථකත්වයක් අත්කර ගැනීම හේතුවෙන් 2018 වර්ෂයේ අවසන් කාර්තුවේදී මෙම මිලියන 480 ප්‍රදානය ලබාදීමට මිලේනියම් අභියෝගතා කෝපරේෂන් ආයතනය එකඟතාව පළකර තිබිණි. නමුත් ඔක්තෝබර් 26 ප්‍රජාතන්ත්‍ර විරෝධීව සිදුකරන ලද දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ එම මූල්‍ය ප්‍රදානය රටට අහිමි විය.

කෙසේ නමුත් 2018 දෙසැම්බර් යළි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව මුදල් අමාත්‍යවරයා විසින් MCCයට නැවත ඉල්ලුම් කිරීමක් සිදුකරන ලද අතර ඒ අනුව සිදුකරන ලද විමර්ශන අවසානයේ 2019 අප්‍රේල් 25 දින ඔවුන් ඊට එකඟතාව පළකරන ලදී. එම එකඟතාවත් සමග ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් 480ක මුල්‍ය ප්‍රදානයක් හිමි වනු ඇත. ඒ ඉදිරි වර්ෂ 5ක කාලසීමාව තුළ ප්‍රධාන ව්‍යපෘති තුනක් සම්පූර්ණ කොට අවසන් කිරීම සඳහා ය.

 මිලේනියම් චැලෙන්ජ් ව්‍යාපෘති

1. ප්‍රවාහන කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීම.

විශේෂයෙන් මේ යටතේ රථවාහන කළමනාකරණ පද්ධතිය සංවර්ධනය කිරීමත් බස් ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීමත් සිදු කෙරෙනු ඇත. රථවාහන කළමනාකරණය පද්ධතිය සංවර්ධනය සඳහා මෙම ඇමරිකානු ඩොලර් 480න් 159.9ක් ද බස් ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 50.00ක මුදලක් ද වෙන් කර ඇත.

විශේෂයෙන් කොළඹ ප්‍රධාන නගර ප්‍රදේශයේ පවත්නා මාර්ග තදබදය අඩු කිරීම සඳහා සහ වාහන තදබදයකින් තොරව රථවාහන කළමනාකරණ පද්ධතිය දියුණු කිරීම සඳහාත් ගමනාගමනය සඳහා ගතවන කාලය අඩුකිරීම සඳහාත් වායු විමෝචනය අඩු කර අනතුරු සිදුවීම් වැලැක්වීමද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

එසේම මගී බස් ප්‍රවාහන සේවාව වඩාත් දියුණු ආකාරයට පත්කිරීම සඳහා රජයේ හා පෞද්ගලික ඒකාබද්ධ සේවාවක් ස්ථාපිත කිරීමත්, මගීන්ට වඩාත් පහසුකම් සහිත බස් මිලදී ගැනීමත් වඩාත් පහසුකම් සහිත මගී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරිම ද මේ යටතේ සිදුකරනු ලැබේ.

 2. මධ්‍යම පර්යන්ත මාර්ග සංවර්ධනය කිරීම.

මධ්‍යම පර්යන්ත මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 131 මාර්ග ජාලයක් වැඩිදියුණු කිරීමට කටයුතු කෙරේ. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 140.1ක් වෙන් කොට ඇත.

මේ යටතේ,

01. අවිස්සාවේල්ල සිට පැල්මඩුල්ල

02. බෙරගල සිට වැල්ලවාය

03. නාවුල සිට දඹුල්ල

04. දඹුල්ල සිට බකමූණ හරහා කළුගහවැව දක්වා වූ මාර්ග සංවර්ධනය කිරීම සිදුකරනු ඇත.

 3. ඉඩම් පරිපාලන වැඩසටහන

මේ යටතේ ගම්පහ, කෑගල්ල, මාතලේ, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක 8ක් ආවරණය වන පරිදි රජයේ සහ පෞද්ගලික ඉඩම් මිනුම්ගත කරනු ලබන අතර ඉඩම් හිමිකම් අහිමි ජනතාවට ඉඩම් හිමිකම් පැවරීම සිදුකෙරේ. එසේම ඉඩම් ලියාපදිංචි කාර්යාල දහයක් උත්ශ්‍රේණිගත කිරීම ද දිස්ත්‍රික් 8 තුළ නවීන තාක්ෂණික ක්‍රමවේද හරහා ඉඩම් සිතුවම්ගත කර ඉඩම්වලට අදාළව සියලු පිඹුරු සකස් කර එහි දත්ත ගබඩා කිරීමට සැලසුම් කරනු ලැබේ. මෙමගින් මැනුම් දෙපාර්තමේන්තුවේ කටයුතු වලට පහසුකම් සලසනු ඇත.

මේ ව්‍යාපෘතිය සඳහා වෙන්කොට ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 67.3කි.

මෙම ප්‍රධාන ව්‍යාපෘති තුනට අදාළ අධීක්ෂණය හා ඇගයීම සඳහා ඇමරිකානු ඩොලර් 12.7ක් ද පරිපාලනය කළමනාකරණ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් 50.0ක මුදලක් ද වෙන් කොට ඇත.

මෙම ව්‍යාපෘති 03 ඉදිරි වසර පහක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකාවෙන් මෙම ඩොලර් මිලියන 480 ක ප්‍රදානය ලැබෙනු ඇත.

රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව විසින් ගන්නා වූ උත්සාහයන් ව්‍යර්ථ කිරීමට ඇතැම් විපක්ෂ කණ්ඩායම් හිතාමතා කරුණු විකෘති කොට සමාජය නොමග යැවීමට ගන්නා වූ සෑම උත්සාහයක්ම පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.