Language Switcher

V2025

කොටස් වෙළෙඳපොළ පිබිදෙයි : තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම පිරිවැටුම !

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම ඊයේ (15) දිනයේ දී රුපියල් බිලියන 9 සීමාව ඉක්මවා යනු ලැබීය.

මෙය 2019 වර්ෂය තුළ දී තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම පිරිවැටුම ලෙසින් වාර්තා වේ.

මේ සඳහා ඊයේ (15) දිනයේ දී ප්‍රධාන වශයෙන් දායකත්වය දෙන ලද්දේ LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සිදු වූ කොටස් ගනුදෙනු කිහිපයකි. මෙම සමාගමේ කොටස් ගනුදෙනු හරහා පමණක් වාර්තා වූ මුළු පිරිවැටුම රු. බිලියන 8.9 කි.

LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් කොටස් බිලියන 3.91 ක් හෙවත් 93.33% ක හිමිකාරීත්වය දරනු ලබන්නේ LOLC Holdings Plc විසිනි. මේ අනුව අද දින ගනුදෙනු වී ඇත්තේ මෙම කොටස් ප්‍රමාණයෙන් පංගුවකි.

කෙසේ වෙතත් මෙය අභ්‍යන්තරික ගනුදෙනුවක් ද නැතිනම් වෙනත් පාර්ශවයක් විසින් සිදුකරන ලද මිල දී ගනු ලැබූවක් ද යන වග ඊයේ (15) සවස්භාගය වනතුරුත් අනාවරණය වී නොතිබිණි.

දිනය තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රු. බිලියන 9.35 ක්වූ අතර සියලු කොටස් මිල දර්ශකය ඒකක 17.42 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 5,587.36 ක් ලෙසින් සටහන් විය.

පසුගිය සතිය අවසානය වන විට 2019 වසරේ දෛනික සාමාන්‍ය පිරිවැටුම රු. මිලියන 530 ක් ලෙසින් සටහන් වූ අතර 2019 වර්ෂය තුළ දී රු. මිලියන 100ට වඩා අඩු ගනුදෙනු පිරිවැටුම් සිදුවූ දින 3 ක් වාර්තා වී තිබිණි.