Language Switcher

V2025

ලංකාව සෘණ වේ !

ලොව ප්‍රමුඛතම මූල්‍ය ශ්‍රේණිගත කිරීම් සමාගම් තුනෙන් එකක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් හෙවත් එස් ඇන්ඩ් පී ආයතනය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ නිල තක්සේරුව ස්ථාවර තත්වයේ සිට සෘණ තත්වය දක්වා පහළ දමා ඇත.

කෙසේ වෙතතත් එම ආයතනය ශ්‍රී ලංකාවට ලබාදී ඇති ශ්‍රේණිගත කිරීමෙහි වෙනදක් සිදුවී නැත. ශ්‍රී ලංකාවට එම ආයතනයෙන් ලබාදී තිබුණු ශ්‍රේණිගත කිරීම වන්නේ බී ශ්‍රේණිගත කිරීමය. වෙනස් වී ඇත්තේ ශ්‍රේණිගතකිරීම්වලට අදාළව එම ආයකනය නිකුත් කරන නිල තක්සේරුවය. සාමාන්‍යයෙන් එම ආයතනය නිල තක්සේරුව ලෙස ධන, ස්ථාවර හා සෘණ යන තත්වයන් තුනෙන් එකක් වශයෙන් සඳහන් කරනු ලබයි.

එම තක්සේරුව ශ්‍රී ලංකාව සමග ගනුදෙනු  කරන රජයන් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සැලකිල්ලට ගනු ඇත. ඒ අනුව ඉදිරි මාස 12ක කාලසීමාව ඇතුළත මූල්‍ය විනය ආරක්ෂා කරගැනීමට කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට අදාළ ශ්‍රේණිගත කිරීම් තවත් පහළ දැමීමේ අවදානමක් ඇත.

ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී ණය පොලි තීරණය කිරීම, ශ්‍රී ලංකාවේ බැඳුම්කර වෙළඳපොළ, ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ යුතුද නැද්ද යන්න පිළිබඳ තීන්දු ගැනීම ආදි කටයුතු සඳහා එම ශ්‍රේණිගත කිරීම බලපායි.ශ්‍රී ලංකාව ලබා ගන්නා ණය ප්‍රමාණය ගෙවිය හැකිද නැද්ද යන්න පිළිබඳව එම ශ්‍රේණිගත කිරීම්වලින් අවබෝධ කරගත හැකිය.

මේ පිළිබඳව කළ විමසීමකදී මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ  විජේවර්ධන ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව වඩාත් අවධානය යොමු කළ යුත්තේ ශ්‍රී ලංකාවට තිබෙන බී වර්ගයේ ශ්‍රේණිගත කිරීම පිළිබඳව බවයි. යම්කිසි රටක ශ්‍රේණිගත කිරීම බීබීබී සෘණ තත්වයට වඩා පහළින් පවතින්නේ නම්, එවැනි රටක් ණය පැහැරහැරීමේ සම්භාවිතාව ඉතා ඉහළ යැයි ජාත්‍යන්තර වශයෙන් සලකන බවද ඔහු කීය. ශ්‍රී ලංකාව දැන් ඉන්නේ එම තත්වයට වඩා පහළින් බව ඔවු කීය. එවැනි රටක මහ භාණ්ඩාගාරයෙන් නිකුත් කරන බැඳුම්කර කසල බැඳුම්කර ලෙස සාමාන්‍ය වහරේදී හඳුන්වන බවද පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම් වලින් තවත් පියවර හතරක් පමණ ඉදිරියට යා යුතු බවත්, රාජ්‍ය ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බවත් ඔහු කීය.

(අනිද්දා )