Language Switcher

V2025

බොරතෙල් මිල ඩොලර් 20 ට වැටෙයි : ජනතාවට බන්දුල සීනි බෝල කවයි !

ලෝක වෙළඳපොල තුළ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 20-25 ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුවී ඇති නමුත් පොදුජන පෙරමුණ ආණ්ඩුව එම තෙල් මිල අඩුවීමේ සහනය ජනතාවට නොදෙමින් සිටියි.

මේ වන විට ලංකා වෙළඳපොලේ ඉන්ධන මිල ඇත්තේ ලෝක වෙළඳපොල තුළ බොර තෙල් බැරලයේ මිල ඩොලර් 70 වට පමණ තිබියදී එනම් 2019 නොවැම්බර් 10 වනදා ඉන්ධන මිල සූත්‍රය අනුව නියම කළ මිල යටතේය. 

crude oil

මේ අතර ජනතාවට මිල සහනයක් නොදෙන ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සඳහන් කරන්නේ වසරක කාලයක් සඳහා දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල ස්ථාවර මට්ටමකට පවත්වාගෙන යාමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවය.මෙම කාලය තුළ ලෝක වෙළදපොලේ මිල උච්චාවචනයන් නොසලකා ස්ථාවර මිල මට්ටමේ ම ඉන්ධන මිළ පවත්වා ගෙන යන බවද ඔහු පැවසීය.නමුත් ප්‍රශ්නය ඇත්තේ ඉන්ධන මිල ස්ථාවර කර විදුලි සහ ජල බිල්පත් වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත්ය. මේ සම්බන්ධව අවස්ථා ගණනක දී විෂය භාර අමාත්‍යවරුන් වෙතින් ප්‍රකාශ නිකුත් කෙරුණත් පාර්ලිමේන්තුව විසුරවීමත් සමඟ ඔවුන් නිහඩ වූ බවක් දක්නට ලැබිණ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ අවස්ථා ගණනක සඳහන් කර සිටියේ මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව අනිවාර්යයෙන් විදුලි සහ ජල බිල්පත් ගාස්තු ඉහළ දමනු ඇති බවය. අනෙක් අතට කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හමුවේ ලෝකයේ ආර්ථික අර්බුදයක් මතුවුවහොත් ආනයනික භාණ්ඩ මිල ඉහළ යාමටද වැඩි ඉඩක් පවතී. එවැනි තත්වයක් මතුවුවහොත් මෙරට වෙළඳපොල තුළද භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමත් අනිවාර්යයක් වන අතර ජනතාවට ඉන්ධන මිල සහනය වෙනුවට එදාවේල කන්නත් අති දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවීම ගැන අවබෝධ කරගන්න අමුතුවෙන් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නට අවශ්‍ය නොවේ.