Language Switcher

V2025

කොටස් වෙළඳපොළේ ඓතිහාසික කඩාවැටීමක් !

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම පහළ යාම අද (20) දිනයේ දී වාර්තා විය. 

මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 303.10 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 6.22% ක පහළ යාමකි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 4,571.63 ක් වශයෙනි.

මේ අතර S&P SL20 දර්ශකය මෙතෙක් ඉතිහාසයේ දැවැන්තම කඩා වැටීම වාර්තා කරමින් පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 11.90% ක පහළ යාමක් අද දින වාර්තා කළේය. මෙහිදී ඒකක 262.42 කින් S&P SL20 දර්ශකය පහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 1,943.55 ක් ලෙසින් සටහන් විය.

දිනයේ ගනුදෙනු තුළින් වාර්තා වූ මුළු පිරිවැටුම රු. මිලියන 420.76 කි.

මීට පෙර කොටස් වෙළෙඳපොළ විශාලතම කඩා වැටීම වාර්තා වූයේ 2010 වසරේ ඔක්තෝබර් 12 වන දිනය.

එදින ඒකක 300.59 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගියේය.

CSE 20.03.2020 A

පසුගිය මාර්තු 13 වනදායින් පසු අද (20) දින මුල් වරට විවෘත වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, වෙළෙඳපොළ විවෘත වී මිනිත්තු 2කට පමණක් සීමා විය.

මීට හේතු වූයේ S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහත වැටීමයි.

පෙරවරු 10.00 ට දෛනික ගනුදෙනු ආරම්භ වූ අතර පෙරවරු 10.02ට ගනුදෙනු තාවකාලිව අත්හිටුවනු ලැබීය.යළිත් වරක් පෙරවරු 10.32 ට සාමාන්‍ය ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත වනු ඇත.

අද දින පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැය 03 ක කාලසීමාවකට පමණක් ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘතව තිබිණ.

(දෙරණ)