Language Switcher

V2025

කොරෝනා පරදන සටනේ කියුබාව – ජාත්‍යන්තරවාදයේ පරමාදර්ශය !

ලෝකය කොරෝනා වෛරසයට එරෙහි ජත්‍යන්තර සටනක නිරතව සිටිද්දී කියුබාව නැවත වරක් ජාත්‍යන්තරවාදය යනු කුමක් දැයි ඔප්පු කළාය.

කියුබාව අප්‍රේල් 02 දින වන විට කොරෝනා වෛරසය හේතුවෙන් වූ මරණ 03ක් ,තහවුරු කරන ලද රෝගීන් 233ක් සහ සුපරීක්ෂාකාරීත්වය යටතේ පසු වන රෝගීන් 3000ක් ඇති ව වුවද , කොරෝනා  උවදුර හේතුවෙන් අර්බුදයට පත් වී සිටින විදේශ රටවල් වෙත වෛද්‍යවරුන් සහ හෙදියන් යැවීමට කටයුතු කළාය.

කියුබානු වෛද්‍ය බලකාය මේ වන විටත් ඉතාලිය , වෙනිසියුලාව , ඇන්ඩෝරා, බෙලිස් ,ඇන්ගෝලාව සහ නිකරගුවාව ඇතුළු රටවල් 14කට වෛද්‍යවරුන් හා හෙදියන් යවා තිබේ.වෛද්‍යවරුන් 52කින් යුක්ත වූ ඉතාලිය ට ලගා වූ බලකායට ඉතා ඉහළ පිළිගැනීමක් ලබා දී තිබුණි .සෙන්ට් ලුසියස් සෞඛ්‍ය ඇමතිනී , සෙනෙට් සභික මේරි අයිසැක් ඇය  කියුබානු වෛද්‍යවරුන් හා හෙදියන් 113ක බලකාය පැමිණීමෙන් මහත් පුදුමයටත් උද්දාමයටත් පත් වූ බව පැවසුවාය . වෛරසය සමග සටන් වැදීමට ඉතාලියට ගිය වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තරවාදය ආශ්වාදජනක යයි ඇය තව දුරටත් පැවසුවාය . කියුබාවේ මෙම ජාත්‍යන්තර සහයෝගිතාවය බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායක ජෙරමි කොබින් විසින් එරට පාර්ලිමේන්තුවේ දී මහත් අගැයීමට ලක් කළේ ‘ කොරෝනා වසංගතයට එරෙහිව සටන් වැදීමට ඉතාලියට ගිය කියුබානු වෛද්‍යවරුන් ජාත්‍යන්තරවාදයේ පරමාදර්ශය යැයි’ පවසමිනි.

Cuba Corona 2020.04.06 01

කියුබාවේ තත්ත්වය !

කියුබානු වෛද්‍යවරුන් සහ වෛද්‍ය සිසුන් රට පුරා ගෙන් ගෙට යමින් වෛද්‍ය පරීක්ෂණ සිදු කරන අතර සැළකිලිමත් විය යුතු රෝග ලක්ෂණ කවරේදැයි ජනතාවට අවබෝධ කරමින් නිවෙස් වල රැදී සිටීමේ වැදගත් කම පහදා දෙමින් සිටිති. ඇදුම් නිශ්පාදන කර්මාන්ත ශාලා මුඛ ආවරණ සාදන කර්මාන්ත ශාලා බවට පත් කරන ලදී. ප්‍රසිද්ධ වැඩ කල් දමන ලදී. කඩ සාප්පු සමාජ දුරස්ථකරන රීති පිළිපැදීමට යොමු කරනු ලබිණි.

රට තුළ කොරෝනා රෝගීන් 20කට අඩු ව පැවති මාර්තු 20 වන දින  රට තුළට ආපසු පැමිණීමට කැමති කියුබානුවන්ට සහ විදේශ ජාතිකයන්ට හැරුණ විට අන් අයට  දේශසීමා වසා දැමීමට තීරණය කරන ලදී. රට තුළ සිටි විදේශිකයන් ඔවුන් නැවතී සිටි හෝටල් තුළ ම නිරෝධනයට හෝ ඔවුන්ගේ රටෙහි ගුවන් යානා පැමිණෙන තුරු හෝ රදවා ගන්නා ලදී.

බ්‍රිතාන්‍ය නාවික මගීන් බේරා ගැනීම !

600කට අධික මගීන් පිරිසක් සහිතව සහ ඒ අතර කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකුද ඇති ව, කිසිදු රටකින් භාර ගැනීමට ප්‍රතික්ෂේප කර දින 10ක් පුරා කැරිබියන් මුහුදේ සැරිසරමින් තිබූ එම්.එස් බ්‍රේමර් නම් බ්‍රිතාන්‍ය නෞකාව භාර ගැනීමට මාර්තු 18 දින කියුබාව තීරණය කළාය.

බ්‍රිතාන්‍ය විදේශ කටයුතු හා පොදු රාජ්‍ය මණ්ඩලයේ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩොමිනික් ර්‍ රාබ් ඒ පිළිබඳ ව කියුබාවට විශේෂ ස්තුතියක් පුද කළේය. කියුබානු විදේශ ඇමැතිවරයා ඒ පිළිබඳ මෙසේ පැහැදිලි කළේය. මේ සහයෝගිතාවේ මොහොතයි. සෞඛ්‍යය මානව අයිතියක් යැයි තේරුම් ගත යුතු මොහොතයි. අපගේ පොදු අභියෝග වලට මුහුණ දීම සදහා ජාත්‍යන්තර සහයෝගිතාවය බල ගැන්විය යුතු මොහොතයි.අපගේ මිනිසුන් ගේ සහ අපගේ විප්ලවයේ මානවවාදී ක්‍රියාකාරිත්වය, උරුමය හා වටිනාකම බල ගැන්විය යුතු මොහොතයි.

කියුබාවට එරෙහි සම්බාධක !

මේ අතර කියුබාව චීනය විසින් එරට කොරෝනා රෝගීන් ට ප්‍රථිකාර කිරීම සදහා භාවිතා කළ ඖෂධ වර්ග 30 අතරින් එකක් වූ Interferon Alfa-26 නමැති ප්‍රතිවෛරස ඖෂධය අවශ්‍ය තරම් සැපයීමට කටයුතු කළාය.

කියුබාව එහි ජාත්‍යන්තර මානුෂවාදී මැදිහත් වීම් සිදු කරනු ලබන්නේ ජනාධිපති ට්‍රම්ප් විසින් දැඩි කරන ලද සම්බාධක හේතුවෙන් ඖෂධ හා භාණ්ඩ හිගයකටත් වෙනත් දුෂ්කරතාවන්ටත් මුහුණ දී සිටින තත්ත්වයක් තුළ දී ය. ජාත්‍යන්තර අර්බුදයක් පවතින අවස්ථාවකදී එක්සත් ජනපද සම්බාධක යනු අපරාධයකි .එහි බලපෑම දැනෙන්නේ කියුබානු ජනතාවට පමණක් නොවේ. කොරෝනා වෛරසයට එරෙහි කියුබානු ජාත්‍යන්තරවාදී ක්‍රියාකාරිත්වය ද ඒ නිසා අඩපණ වේ.

මෙම ගෝලීය අර්බුදය හමුවේ පවා එක්සත් ජනපදය කියුබාවට එරෙහි ප්‍රහාරයන් දියත් කරමින් සිටී. මාර්තු මස අවසානයේ දී කියුබානු වෛද්‍ය බලකායේ සහය ලබා ගන්නා රටවලට අනතුරු අගවමින් ට්විටර් පණිවුඩ පෙළක් යැවීමට එක්සත් ජනපදය කටයුතු කළාය. සම්බාධක හේතුවෙන් අප්‍රේල් 01 වන දින කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම වෙනුවෙන් වූ පරීක්ෂණ කට්ටල සහ කෘත්‍රිම ස්වසන උපකරණ සහිත චීන නැවක් ආපසු හරවා යැවීමට සිදු විය.

Cuba Corona 2020.04.06 2

(lanka truth )