Language Switcher

V2025

කෙල ගාලා හමාරයි !

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දුව ඔප දැමීම සඳහා ඛේටය හෙවත් කෙළ භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.

ඒ කොවිඩ් 19 වෛරස වසංගතය ව්‍යාප්තවීම  අවම කර ගැනීම ට වන අතර  ඒ ඇතුළු තවත් තීරණ රැසක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙන ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නිරන්තරයෙන් උපදෙස් ලබා දෙන්නේ එහි ක්‍රිකට් කමිටුව විසින්ය.

ඒ අනුව කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය හා සම්බන්ධව පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාවේ විය යුතු වෙනස්කම් පිළිබඳ සාකච්ඡාවක්  අනිල් කුම්බ්ලේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.

ඛේටය හරහා වෛරසය ව්‍යාප්ති වීමට තිබෙන අවදානම පිළිබඳ අවධානය යොමු කරමින් පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිතය සම්පූර්ණ ලෙසම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව ඒකමතිකව එකඟ වු බව එහි සභාපති පීටර් හාර්කෝට් පවසයි.

ක්‍රිකට් කමිටුවේ තවත් නිර්දේශයක් වුණේ සංචරණය සීමා කිරීම හේතුවෙන් සහ රට රටවල පවතින නිරෝධායන රෙගුලාසි හේතුවෙන් මධ්‍යස්ථ විනිසුරුවරුන්ගේ සේවයද තාවකාලිකව අත්හිටුවීමයි.

ඒ අනුව කොටි කාලීනව ටෙස්ට්, එක්දින සහ 20යි 20 තරග සඳහා එම අදාළ රටේ  නිලධාරීන් පත් කිරීමටත් පියවර ගැනෙනු ඇත.

එහිදී ඒ ඒ ක්‍රිකට් රටාව අනුව දෙපිලම වෙනුවෙන් එක් ඉනිමක් සඳහා ලබා දෙන විනිසුරු තීරණය නැවත වීමසීම තවත් එක් අවස්ථාවකින් වැඩි කරන ලෙසද ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව යෝජනා කර තිබේ.

ඒ අනුව මෙම යෝජනා සියල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒවා ක්‍රියාත්මක වීමට නම් ප්‍රධාන විධායක රැස් වීමේදී අනුමත විය යුතු බවත් ICC වෙබ් අඩවියේ සඳහන්ය.