Language Switcher

V2025

අමිතාබ් භච්චන් සහ අභිෂේක්ටත් කොරෝනා

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් භච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් භච්චන්ට ද කොරෝනා ආසාදනය වී තිබේ.

ඔවුන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව  අමිතාබ් භච්චන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉකුත් දින 10 තුළ තමන් ඇසුරු කළ සියලු දෙනාට නිරෝධායනය වන ලෙස ද අමිතාබ් භච්චන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හමුවේ ඉන්දියාවේ දැඩි අර්බුධකාරී තත්ත්වයක් උද්ගතව ඇත.

මේ අනුව අනිද්දා (14) පස්වරු 8.00 සිට සිට ලබන (22) අලුයම 5.00 දක්වා බෙංගලූරු නගරය සම්පූර්ණයෙන්ම වසා දමන බව කර්ණාටක ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කළහ.

බෙංගලූරු නගරය මේ වනවිට කලාප අටකට බෙදා එහි කොරෝනා ව්‍යාප්තිය නිරීක්ෂණය කෙරෙන බව ද සඳහන් වේ.

කර්ණාටක ප්‍රාන්තයේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන්නේ බෙංගලූරු නගරයෙන් වන අතර මේ වනවිට නගරයෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 229 කි.

මේ වනවිට කර්ණාටක ප්‍රාන්තයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 36,216 ක් ලෙසයි.

වෛරස් ව්‍යාප්තිය හමුවේ ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත කිහිපයක් ද වසා දැමූ කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

බටහිර බෙංගාලය සහ නාගලන්තය ප්‍රකාශ කළේ, ලබන 31 වැනි දා දක්වා එම ප්‍රාන්ත වසා දැමෙන බවය.

ගුවහාටි නගරය වසාදැමූ කාලය ද ලබන 19 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.

අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් ද ලබන 20 වැනි දා දක්වා වසා දැමීමට පියවර ගෙන ඇත.

මේ අතර වෛරස් ව්‍යාප්තිය හමුවේ සිය පුහුණුකරුවන් 180 දෙනාට රැකියා අවස්ථා ලබාදීමෙන් වළකින බව ඉන්දීය ගුවන් සේවය නිවේදනය කළේ ය.

මේ අනුව ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අටලක්ෂ පනස්දහස ඉක්මවා තිබේ.

ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 27,755 ක් ලෙසයි.

මේ අතර වෛරස් ව්‍යාප්තිය ව්‍යාප්තිය උත්සන්නවීම හමුවේ වුවත් ආර්ථික කටයුතු නතර කළ නොහැකි බව ඉරාන ජනාධිපති හසන් රුහානි සඳහන් කළේ ය.

බෙල්ජියම, සිනමාහල්, කඩ සාප්පු සහ වෙනත් ආවරණය කළ ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

ජපානයේ ඔකිනවාහි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකින් කොරෝනා ආසාදිතයන් 61 දෙනෙකු වාර්තා විය.

නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි විසි අට ලක්ෂය ඉක්මවා තිබේ.

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ, 567, 034 ක් ලෙසයි.

ලොව කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව 74 ලක්ෂය ඉක්මවා තිබේ.