Language Switcher

V2025

ගුවන් හමුදාවේ රොෂාන්ගෙන් පිහිනුම් වාර්තා 02ක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර අද(11) නව ආසියානු වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ඒ, තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරමට පැමිණෙමින්ය.

සාගරය, පරිසරය රැක ගැනීමේ පණිවිඩය ලෝකයට රැගෙන යාමේ අරමුණෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර ඊයේ(10) දිනයේදී ‍මෙම වාර්තාව පිහිටුවීමට තලෙයිමන්නාරමෙන් ගමන් ආරම්භ කළේය.

ඔහු තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කෝඩි දක්වා ගමන් කළේ, පැය 10යි විනාඩි 31ක කාලයකිනි.

එය නව ශ්‍රී ලංකා වාර්තාවකි.

රොෂාන් අබේසුන්දර අද දිනයේදී ඉන්දියාවේ ධනුෂ්කෝඩි සිට තලෙයිමන්නාරමට පැමිණියේ ආසියානු වාර්තාවක් ද පිහිටුවමිනි.

ඒ ගමන ඔහු නිම කළේ පැය 17යි විනාඩි 48යි තත්පර 43ක කාලයකිනි.

රොෂාන් ඊයේ සහ අද දින දෙක තුළ කිලෝමීටර 59යි දශම 3ක මුළු දුරක් ආවරණය කළේය.

ඒ අනුව 1971 වසරේදී කුමාර් ආනන්දන්, තබා තිබූ ආසියානු වාර්තාව, රොෂාන් අබේසුන්දර අද තමන් සතු කර ගත්තේය.

කුමාර් ආනන්දන් 1971 වසරේදී කිලෝ මීටර 59යි දශම 3ක දුර, පැය 51ක කාලයකින් අවසන් කරමින් පිහිටුවා තිබූ වාර්තාව රොෂාන් අබේසුන්දර අද බිඳ දැමුවේ පැය 28යි විනාඩි 19යි තත්පර 43ක සමස්ත කාලයක් සටහන් කරමිනි.