Language Switcher

V2025

ලෝක වාර්තා අලුත් කරමින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

වාර්තා රැසක් අලුත් කරමින් බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 328කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
සිලෙට්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 280ට පිළිතුරු ලෙස බංග්ලාදේශයට ලබා ගැනීමට හැකිවුයේ, ලකුණු 188ක් පමණයි.

පළමු ඉනිමේ වැඩි වාසි අතැතිව, දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 418ක් රැස් කළේ ය.

නායක ධනංජය ද සිල්වා ඉනිම දෙකේදීම ශතක රැස් කළ අතර, ඔහු වාර්තා අතරට එක්වුයේ වසර 10කට පසුව ටෙස්ට් ක්‍රිකට් තරගයක ඉනිම දෙකේදීම ශතක රැස් කළ ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසයි.

වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් ද නායකයාට උපරිම සහයෝගය ලබා දෙමින්, ඉනිම දෙකේදීම සාර්ථක ශතක දෙකක් රැස් කිරීමට සමත් විය.

එය වාර්තා පොත් අතරට එක් වුණේ ටෙස්ට් තරගයකදී අංක 7 හෝ ඉන් පහළ පිතිකරුවෙක් ඉනිම දෙකේදීම ශතක දෙකක් රැස් කළ ලොව පළමු අවස්ථාව ලෙසයි.

ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක රැස් කළ ලොව තුන්වැනි පිතිකරු යුගලය ලෙස ධනංජය හා කමිඳු වාර්තා පොත් අලුත් කළේය.

ඒ අනුව, ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 182ක් පමණයි.

කසුන් රාජිත කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් දවාගත් අතර ළහිරු කුමාර කඩුලු 2යි.

තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වාට හිමිවිය.

මෙම තරග ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණියේ ය.

ඒ අනුව, ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ රැදී සිටින්නේ 6වැනි ස්ථානයේයි.