Language Switcher

V2025

ගෞතම් දිනුම් !

හිටපු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගම්භීර් මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය (BJP) නියෝජනය කරමින් ගම්භීර් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව නැගෙනහිර දිල්ලි ආසනය නියෝජනය කළ අතර ඔහු ලබාගත් ඡන්ද ගණන 6,96,156කි.

maxresdefault

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මහ මැතිවරණය පැවැත්වීමට සති කිහිපයකට පෙර ඔහු භාරතීය ජනතා පක්ෂය සමග එකතු වූ බවය.

ga2

ඉන්දීය අගනුවර වන නවදිල්ලි නගරයේ අධික ජනගහනයක් වෙසෙන ප්‍රදේශයක් ලෙස නැගෙනහිර දිල්ලි හැඳින්විය හැකිය.

ජනතාව සමග රැඳී සිටිමින් ගම්භීර් සිය ඡන්ද ව්‍යාපාරය සාර්ථකව මෙහෙය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Gautam Gambir

37 වැනි වියේ පසුවන ගම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට වර්ෂ 2004 සිට 2016 දක්වා වසර 12ක් සිය සේවය ලබා දුන්නේය.

ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු වූ ගෞතම් ගම්භීර් ටෙස්ට් තරග 58කදී ලකුණු 4154ක් ලබාගෙන තිබේ. ඊට ශතක 9ක් සහ අර්ධ ශතක 22ක් ඇතුළත් ය. එක්දින ජාත්‍යන්තර තරග 147කට ක්‍රීඩා කර ඇති ඔහු ලබාඇති ලකුණු ගණන 5238කි. ශතක 11ක් සහ අර්ධ ශතක 34ක් ඊට ඇතුළත් විය.

පන්දුවාර විස්සයි විස්ස තරග 37ක් ක්‍රීඩා කර තිබෙන ගම්භීර් ලබා ඇති ලකුණු ගණන 937කි. ඊට අයත් අර්ධ ශතක ගණන 7කි.