Language Switcher

V2025

කෝටිපතියන්ට අභියෝග කළ බයිසිකල්කාරයා

ප‍්‍රතාප් චන්ද්‍ර සරංගී කියන්නේ ලංකාවේ අපට ඒ තරම් හුරු පුරුදු නමක් නොවුනත් මේ වෙද්දි ඉන්දියා තුළ සුප‍්‍රසිද්ධ නමක් බවට පත් වෙලා ඉවරයි. ඒ ඉන්දීය පාර්ලිමේතුවට තේරී පත් වුණු දුප්පත්ම ඇමතිවරයෙක් විදියට. බොහෝ දෙනා ඔහුව හදුන්වලා තිබුණේ ඔදීශා බාලසුරේ ප‍්‍රතාප් සාරංගි නමින්. ඔදීෂා බාලසුරේ කියන්නේ ඔහු නියෝජනය කරන දිස්ත‍්‍රික්කය සහ ප‍්‍රදේශය.

1955 ජනවාරි 4 වනදා ඉන්දියාවේ බාලසුරේ ප‍්‍රදේශයේ නිලාගිරි, ගෝපිනාත්පූර්හි උපත ලද ප‍්‍රතාප් සරංගි මූලික අධ්‍යාපනයෙන් පසුව 1975 වසරේදී උට්කල් විශ්ව විද්‍යාලය යටතේ ඇති බාලසුරේ ෆාකිර් මෝහන් විද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කර ගන්නවා. ළමා කාලයේ පටන්ම සත්‍ය සොයා යාම පිළිබද අවධානය කළ ප‍්‍රතාප් සරංගි රාමක‍්‍රිෂ්ණ මාත්හි භික්ෂුවක් වීමේ බලාපොරොත්තුවෙන් සිටි අයෙක්. ඔහු ඒ සදහා බොහෝ උත්සාහ ගත්තත් අවසානයේදී ඔහුට ඒ උත්සාහය අතහැර දමන්න සිදු වුණා. ඒ තමන්ගේ ප‍්‍රදේශයේ දුප්පතුන් වෙනුවෙන්.

එතැන් පටන් ඔහු මිනිසුන් වෙනුවෙන් විවිධ සමාජ සේවාවන් දියත් කළා.

සරංගි බාලසුරේ ගමේ සහ මයුර්බානි දිස්ත‍්‍රික්කයේ දුප්පත් දරුවන් වෙනුවෙන් ඥාන ශික්ෂා මන්දිර් යෝජනා ක‍්‍රමය යටතේ පාසල් ආරම්භ කිරීමට මුලින් කටයුතු කළ අතර පසුව දුප්පත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තම විශ‍්‍රාම වැටුයෙන් කොටසක් ශිෂ්‍යත්ව ලෙස ලබා දීමට ඔහු කටයුතු කළා.

2004 වසරේ සිට 2009 දක්වාත් 2009 සිට 2014 දක්වාත් ඔදීසාහි ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු ලෙස ඔහු තේරී පත් වුණා.

2014 වසරේදී දේශපානයට පිවිසෙමින් භාරත් ජනතා පක්ෂයේ ලෝක් සභා අපේක්ෂකයා ලෙස බාලසුරේ ප‍්‍රදේශයෙන් තරග කළ සරංගි එහිදී රබීන්ද්‍ර කුමාර් හමුවේ පරාජයට පත් වුණා.

පසුව 2019 වසරේදීද බී ජේ පී අපේක්ෂකයා ලෙස තර`ග කළ ඔහු එහිදී රබීන්ද්‍ර කුමාර්ව ඡුන්ද 12 956කින් පරාජය කරමින් මෝදි අගමැතිවරයාගේ ඇමති මණ්ඩලයටද තේරී පත් වුණා. වර්තමානයේ ඉන්දියාවේ ක්ෂුද්‍ර, සුලූ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා පශු සම්පත්, කිරි හා ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ඔහු තවමත් ගමන් බිමන් යන්නේ තමන්ගේ දුප්පත් බයිසිකලයෙන් වීම විශේෂත්වයක්.