Language Switcher

V2025

ලොව ලාබාලතම වසරේ පුද්ගලයා ලෙස පුංචි ග්‍රේටා ඉතිහාසයට එක්වෙයි

දේශගුණික විපර්යාස හා දේශගුණික හදිසි තත්ත්වයන් පිළිබඳ ඈ ලොව අමතා නැඟූ අසමසම හඬ නිසා පසුගිය කාල වකවානුව තුළ ලොව කා අතරත් කතාබහට ලක්වූ චරිතයක් වූයේ 16 හැවිරිදි පුංචි ග්‍රේටා තන්බර්ග් දැරියයි.

දේශගුණික විපර්යාසයන් පිළිබඳව හඬක් නඟමින් ලොවක දෙනෙත් විවර කිරීමට සමත් වූ ග්‍රේටා තන්බර්ග් දැරිය දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය ව්‍යාපාරයක ප්‍රධාන රුව විය. තවමත් පාසල් වියේ පසුවන ස්වීඩන් ජාතික ග්‍රේටා තන්බර්ග් ටයිම් සඟරාව විසින් 2019 වර්ෂය සඳහා 'වසරේ පුද්ගලයා' (Person of the Year) වශයෙන් නම් කර තිබේ.

ඒ අනුව ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා යන පිදුම් නාමය ලබන ලාබාලතම පුද්ගලයා ග්‍රේටා තන්බර්ග් වේ.

වසරේ පුද්ගලයා තේරීම 1927 වර්ෂයේ පටන් ටයිම් සඟරාව සිදුකළ සම්ප්‍රදායකි. ඒ අනුව පුංචි ග්‍රේටා ලොව ලාබාලතම වසරේ පුද්ගලයා ලෙස ඉතිහාසයට එක් වෙයි.

ටයිම් සඟරාව නිකුත් කළ නිවේදනයට සුළු මොහොතකට මත්තෙන් ග්‍රේටා ස්පාඥ්ඥයේ මැඩ්‍රිඩ් අගනුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව අමතමින් පවසා සිටියේ එළඹෙන දශකය පෘථිවියේ අනාගතය නිර්වචනය කරනු ඇති බවයි.

ටයිම් සඟරා කවරයේ “තාරුණ්‍යයේ බලය” යන තේමාව යටතේ පුංචි ග්‍රේටා ගේ ඡායාරූපයක් ඇතුලත් කර තිබේ.