Language Switcher

V2025

කොරෝනා වෛරස් ඩයරීස්: ගැලීලියෝ ගැලිලි, කෝවිඩ් මළ සිරුරු, විද්‍යාව සහ අවිද්‍යාව !

ඉතාලි ජාතික විද්‍යාඥ ගැලීලියෝ ගැලිලි ගැන පාසල් කාලේ ඉඳල අපි කවුරුත් අහල තියෙනව. 
 
අවිද්‍යාවේ අඳුර බිඳිමින් නූතන විද්‍යාවේ ප්‍රගතිය වෙනුවන් දැවැන්ත මෙහෙයක් කරපු තාරකා විද්‍යාඥයෙක්, භෞතික විද්‍යාඥයෙක් වගේම ගණිතඥයෙක් වුණ ගැලීලියෝ ගැලිලි “නූතන විද්‍යාවේ පියා” කියලත්  හැඳින්වෙනවා. 
 
නමුත් ඔහුගේ බොහෝ විද්‍යාත්මක සොයා ගැනීම් ගැන ඒ කාලේ ඉතාලියේ ආධිපත්‍යය හොබවපු කතෝලික පල්ලිය කිසිම කැමැත්තක් දැක්වුවේ  නැහැ. 
 
මොකද ඒ සොයා ගැනීම් සියල්ලම වගේ පල්ලියේ ඉගැන්වීම්වලට එරෙහිව ගිය නිසා. 
 
ඒ කාලේ පල්ලියේ ඉගැන්වීම වුනේ සමස්ත විශ්වයම පෘථිවිය කේන්ද්‍ර කරගත්තක් බව. 
 
ඒත් පෘතුවිය සූර්යයා වටා භ්‍රමණය කෙරෙන බවට සාක්ෂි සොයා ගෙන ගැලීලියෝ ගැලිලි ඒක ප්‍රකාශයට පත් කළාම ඒ ගැන කිපුණු කතෝලික පල්ලිය 1633 දී ඔහු නිවාස අඩස්සියේ තබන්න නියෝග කළා. 
 
එදා ඉතාලියේ පාලකයන් විද්‍යාවට එරෙහි වුණ නිසා “නූතන විද්‍යාවේ පියා” අවසන් ගමන් ගියේ තමන්ගේ ගෙදර හිර කෙරුණු හිරකාරයෙක් විදියට. ඔහුගේ පර්යේෂණ ලිපි සියල්ලත් පල්ලිය තහනම් කළා. 
 
ඉතාලි පාලකයන් එදා ඔහු කියූ සත්‍යය බැහැර කළත් අද මුළු ලෝකයම ඔහු එදා හෙළි කළ දේ පිළිගන්නවා. 
 
එදා අවිද්‍යාවට, මිත්‍යාවට විරුද්ධව සටන් කරලා කොයි තරම් පීඩා වින්දත් ශතවර්ෂ ගණනාවකට පස්සෙ අදත් ගැලීලියෝ ගැලිලි කියන්නේ ලෝකයම ගරු කරන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. 
 
*****************************************
අපි දැන් 21 වෙනි සියවසට හැරෙමු. 
 
පිරිසක් කිසියම් නිගමනයකට එනවා. 
 
ඒත් ඒ නිගමනය සනාත කරන්න සාක්කි නෑ.
 
ඒ නිසා ඔවුන් තමන්ගේ නිගමනය ඔප්පු කරන්න පණ දාගෙන සාක්කි හොයනවා. 
 
එයාලගේ නිගමනය සනාත කරන්න කරුණු  නෑ කියල කොයිතරම් කීවත්, ඇති තරම් සාක්කි ඇතුව පෙන්නලා දුන්නත්, මේ පිරිස දිගටම කියන්නේ “එහෙම නැහැයි කියල තවමත් ඔප්පු වෙලා නෑනේ,” කියල. 
 
 “ඒ නිසා අනාගතයේදී අපේ නිගමනය හරියන්න පුළුවන් කියල හිතාගෙන වැඩ කරමු” කියල ඔවුන් කියනවා. 
 
ඒකට කියන්නේ විද්‍යාව නෙමේ. අවිද්‍යාව. 
 
විද්‍යාව කියන්නේ කිසියම් උපකල්පනයක් කරලා, ඒ උපකල්පනය හරි ද, වැරදි ද කියල සාක්ෂි සොයා යාම. ඔප්පු කරන්න සාක්කි නැත්නම් උපකල්පනය වැරදියි කියල පිළිගැනීම. 
 
මුලින්ම නිගමනයකට ඇවිත් ඒ නිගමනය සනාත වෙනතුරුම පරම්පරා ගානක් වුනත් දත්ත සෙවීම විද්‍යාව නෙමේ, අවිද්‍යාව. 
 
තමන්ගේ නිගමනය ඔප්පු කරන්න සාක්කි නෑ කියල මුළු ලෝකෙම කියද්දීත්, “එහෙම නෑ කියලත් සාක්කි තවමත් නෑ,” කියන්නේ විද්‍යාව නෙමේ,  අවිද්‍යාව. 
 
නූතන විද්‍යාවේ පියා ගැලීලියෝට විරුද්ධව කතෝලික පල්ලිය තර්ක කළෙත් ඒ විදියට. සාක්කි තිබුණත්, නැතත් අපි කියන දේ හරි කියල තමා පල්ලිය කිවුවෙත්.
 
ඇත්තටම මම ආදරේ කරන උගත්, බුද්ධිමත් සමහරුත් මේ වගේ තර්ක මතු කරන හැටි මම බලාගෙන ඉන්නේ කනගාටුවෙන්. 
 
දැන් අපි හිතමු මේ නිගමනය කෝවිඩ් මෘත දේහ ගැන කියල. 
 
කෝවිඩ් මළ සිරුවලින් වෛරසය බෝවෙන බවට සාක්ෂි නෑ කියල මෙතෙක් කරලා තියෙන 85,000 කට වැඩි පර්යේෂණවලින් හෙළි වෙලා තියෙනව. 
 
කොරෝනා වෛරසය වතුරෙන් බෝවෙන්නේ නෑ කියලත් මුළු ලෝකෙම දන්නවා.
 
එතකොට විද්‍යාව පිළිගන්නේ මේ පර්යේෂණවල නිගමන.  
 
එහෙම නැතුව “බෝවෙන්නේ නෑ කියලත් සාක්ෂි නෑ,” කියන්නේ විද්‍යාව නෙමේ, අවිද්‍යාව. මිත්‍යාව. 
 
කෝවිඩ් මළ සිරුරු ගැන විද්‍යාව මේ විදියට පහදලා දෙන්න ලංකාවේ ඉන්න ඉහළම පෙළේ ප්‍රජා වෛද්‍ය විශේෂඥයන් විශාල පිරිසක්. ලෝකේ ඉහළම පෙළේ වෛරස විද්‍යා විශේෂඥ මහාචාර්ය මලික් පීරිස් කියන්නෙත් ඒකමයි. 
 
ඒත් සමහරු මේ විද්‍යාඥයන්ට ඉතාම පහත් විදියට අපහාස කරනවා.
 
ඩෙන්මාර්කයේ මුගටි සිරුවලින් කොරෝනා බෝවුණ බවක් අනාවරණය වෙලා නෑ කීවමත් තවමත් සමහරු කියන්නේ “බෝ නොවෙන බවකුත් කියල නෑනේ” කියල. 
 
උපකල්පනයක් සහ විද්‍යාව කියන්නේ දෙකක්. 
 
තර්ජන, ගර්ජනවලින් නොසැලී ගැලීලියෝ ගැලිලි එදා විද්‍යාවට මුල් තැන දුන්න විදියටම, මහාචාර්ය මලික් පීරිස්, මහාචාර්ය නීලිකා මලවි, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ වගේ විශේෂඥයන් ගල්, මුල් නොතකා සත්‍යය හෙළි කරමින් ඉන්නවා. 
 
කොයිතරම් දුෂ්කර වුනත් ලෝකයේ ඉදිරි ගමන රැඳිල තියෙන්නේ ඒ වගේ සැබෑ මිනිසුන්ගේ දිරිය මත; ඔවුන් අනාගත ලෝකයට දායාද කරන විද්‍යාව මත.
 
මානව වර්ගයා ඉදිරියට යන්නේ ගැලීලියෝ වගේම කෝවිඩ් වගේ වසංගතයක් කාලෙක නොබියව විද්‍යාව (සත්‍යය) පහදලා දෙන මේ විද්‍යාඥයන්ගේ piya සටහන් මත.
 
- සරෝජ් පතිරණ, 2021 ජනවාරි 
 
මූලාශ්‍ර: 1- ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යයන පත්‍රිකාව (https://www.bbc.com/sinhala/sri-lanka-55506951)
2- ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය මෙහෙය වූ වෙබිනාව (https://www.facebook.com/101484174599709/videos/2858219204408225)
 
3 - Recommendations of the Expert Committe - https://twitter.com/sarojpathi/status/1345149546960216064?s=19
 
(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණ ගේ ෆේස්බුක් ගිනුමෙනි )

FB IMG 1609669191521

FB IMG 1609669198796