Language Switcher

V2025

කොළඹ සර­සවි රම්‍ය­කා­ම­නාවේ දිදුල තාර­කාව මාදනී

කැලණිය විශ්වවිද්‍යාලයට නවක ශිෂ්‍ය මානවක මානවිකාවන් අතුළු වූ පසු ඔවුන් වෙනුවෙන් පැවැත්වුණු නම්නීකර්ණ (Orientation Programme) වැඩ සටහන් කීපයකටම සහභාගී වන්නැයි පසුගිය වසර කිහිපයක දී මහට ඇරැයුම් කළෝ එදවස මහාචාර්ය හා අද පීඨාධිපති පැට්‍රික් රත්නායකයෝය. නම්නීකරණ වැඩසටහන සමාප්ත උළෙල , නවක මානවක මානවිකාවන්ගේම කුසලතා සමාජගත කෙරුණු රාත්‍රියක් වීම කැලණියේදී මා දුටු විශේෂත්වය වීය. නවක මානවක මානවිකාවන්ගේ ගායන, වාදන, නර්තන කුසලතා මතු නොව, ඔවුන්ගේ රංගන, නිවේදන හැකියා ද දැක බලාගන්නට, අසා රස විඳගන්නට කැලණි සරසවි උපකුලපතිතුමා ප්‍රමුඛ මහැදුරු පැට්‍රික් රත්නායකයෝ අපට ඉඩ හසර සලසා දුන්හ. ඇතැම් වසරක ප්‍රාසාංගික අත්දැකීමෙන් ඔබ්බට ගිය කැලණි විශ්වවිද්‍යාලය, නවක ශිෂ්‍ය මානවක මානවිකාවන්ගේ සැඟවුණු සාහිත්‍ය නිර්මාණ කුසලතා සොයා ගොස් එකී නිර්මාණ ඇතුළත් සංග්‍රහ පවා පළ කිරීමට වෙහෙස වූ අවස්ථා පිළිබඳ අපට මතකය. කොළඹ විශ්වවිද්‍යාලයේ ද නම්නීකරණ වැඩ සටහන් කීපයකටම සහභාගීවීමේ අවස්ථාව ලද ද, එහිදී ලද අත්දැකීම කැලණියේදී ලද අත්දැකීමට වඩා වෙනස් එකක් වීය.

ජනමධ්‍ය අංශ ප්‍රධානී ම්හැදුරු සමන්ත හේරත්ගේ සංකල්පනාව හා අධීක්ෂණය ඔස්සේ පසුගිය වසරක දී දිව්‍යාඅරාධනා, රස අභිලාෂා නමින් වූ සංගීතමය ප්‍රාසාංගික අත්දැකීම් පිරුණු සැඳෑවකට සහභාගීවීමට වරම් ලද්දෙමි. රම්‍යකාමනා, ප්‍රේමගීතාවලිය, සදා දෝතින් මලක් සේ ඔබ වැළඳ ගන්නෙමි හදවතින් යන උපශීර්ෂයෙන් යුතු වූ බැවින්, ප්‍රේමාන්විත සුන්දර ගීතාවලියක මිහිර විඳගැනීමේ ඒකායන අභිලාෂයෙන් පසුගිය විසිහයවන දා කොළඹ සරසවි නවකලාගාරයට පිවිසුණේ අනාරාධිතවය. වඩාත් වැදගත් අනෙක් හේතුව වූයේ ගී ගයන්නට ඇරැයුම් ලද ගායක ගායිකාවන්ගේ හඬින් ගී ඇසීමට සිතෙහි වූ නොතිත් ආසාවයි; කෑදරකමයි.

මහදුරු සමන්ත හේරතුන් මෙවර කොළඹ සරසවි නම්නීකරණ වැඩසටහන් සමාප්තිය සටහන් කිරීමට සැලසුම්කොට තිබූ රම්‍යකාමනා යනු කුමක්දැයි බොහෝ දෙනාට ප්‍රශ්නයක් වූ බව අසා ඇත්තෙමි. ශිෂ්‍ය මානවක මානවිකාවන්ට පමණක් නොව ඇතැම් ඇදුරුතුමන්ට මෙන්ම තුමියන්ටද රම්‍යකාමනාවෙහි අර්ථය එක්වර පැහැදිලි නොවූ බව දැන ගත්තෙමි. එනිසාමදෝ රම්‍යකාමනා යනු සුන්දර අභිලාෂය හෙවත් කැමත්ත යයි අරුත් දක්වන්නට මහැදුරුතුමා ඉදිරිපත් වූයේය. රම්‍යකාමනා යන්නෙහි අරුත කුමක් වූවත්, දෙහෝරාවකට මඳක් වැඩි කාලයක් තුළ ප්‍රේක්ෂාගාරය වශී කොට ගනිමින් ඇද බැඳ තබා ගැනීමට ගීතාවලියෙහි ගී ගැයූ ගායක ගායිකාවෝ සියල්ල සමත්වූහ. තෝරාගෙන තිබූ ප්‍රේම ගීතාවලිය අපගේ ප්‍රේම ගීත වංශයෙහි පුළුල් හරස්කඩක් බඳු වීය.

නූර්ති, නාඩගම්, චිත්‍රපට, වේදිකා හා ටෙලිනාට්‍ය මතු නොව ජනප්‍රිය සරල ගීතයෙහිද පසුගිය දශක කිහිපය පුරා රසික සිත් අමන්දානන්දයට පත් කළා වූ අපූර්ව, සුන්දර ප්‍රේම ගීතාවලියක් පෙරපරපුර ද නවපරපුර ද නියෝජනය කරන්නාවූ ගායක ගායිකාවන්ගේ හඬින් ගැයෙනු අසා පමණක් නොව ඇතැම් ගීයක් සඳහා රංගනයක් ද නැරැඹීමෙන් ප්‍රෙක්ෂාගාරය ආස්වාදයට පත්වූ බව හැඟිණ. පළමු වසරේ මානවක මානවිකාවන්ට එය අපූර්ව මෙන්ම අතිශය චමත්කාරජනක වූත් සුන්දර අත්දැකීමක් වූවා නිසැකය. එහෙත්, ගීත රස විඳීමේ උද්දාමය, ප්‍රීතිය මොහොතකට හිරු දුටු කදෝ පැණියන් බවට පත් වූ කලෙක මෙන් සැඟව ගියේ එදින සැන්දෑව ආලෝකවත් කළ තාරකාව බවට පත්වන්නී මාදනී මල්වත්තගේ සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයේ, ඇගේ ජවනිකාව, ස්ත්‍රියක් ඔබ අමතයි රංගනය ප්‍රේමගීතාවලියට එක්කිරීමෙන් පසුවය.

එතෙක් ප්‍රේම ගී ඇසීමෙන් පිනාගිය සිතැති ප්‍රේක්ෂාගාරය, එක් සැණින් මාදනීගේ නර්තනය, ගායනය, පිරි රංගනයෙන් ඔකඳ විණි; පිබිදිණි. දුලබ සුරාවක් තොල ගා ගත් කලෙක දැනුණු මිහිරකින් මත් වූවා සේ මත්විණ. මාදනී යනු මාදනී පමණක්ම බව අපට දැනෙනට ගතවූයේ නිමේෂයකි. ගායනයෙන්, නර්තනයෙන් හා විශිෂ්ට රංගනයෙන් ඈ විස්කම් මවන්නී, වර්තමාන වේදිකාවේ ඈ අසලට හෝ එන්නට සමත් එකදු නිළියක් පිළිබඳ හෝ සිතන්නට ඉඩක් නොතබමිනි. ඈ විශිෂ්ටයන් අතර විශිෂ්ට නිළිය යැයි පැවසීමට දෙවරක් සිතන්නට ඕනෑ නොවේ.

රම්‍යකාමනා ප්‍රේමගීතාවලිය, ප්‍රේමාන්විත ස්වරයෙන් හඬගන්වන්නට ඇරැයුම් ලද්දෝ ස්බැවින්ම ප්‍රේමය යනු කුමක්දැයි අරුත් ගන්වන්නට සමත් පෙර හා නවපරපුර නියෝජනය කරන්නා වූ ගායක ගායිකාවන් හා නළු නිළියන්ය. ගායනයට හා රංගනයට හපන් මාදනී, ඉන්දිකා, ප්‍රදීපා, දිද්දෙණිය මෙන්ම ගායනයෙහි අපූර්ව හඬ මාධූර්යය සතු සමන් ලෙනින්, නෙලූ අදිකාරී, කපිල පූගල ආරච්චි, රවීන්ද්‍ර අලගියවන්න හා මහානාම වික්‍රමසිංහ ආදීන්ගේ හමුවක් යනු අතිශයින්ම දුර්ලභ අවස්ථාවකි. එවන් හමුවක් නවක ශිෂ්‍ය මානව මානවිකාවන් ඉදිරියට ගෙනවිත් ඔවුන් පාසල් සිසුන් ලෙස කිසිදින නොවිඳි අත්දැකීමකට හවුල් කරගන්නට පමණක් නොව, විවිධ යුග හා ගායක පරපුර නියෝජනය කරන්නා වූ ගායක ගායිකාවන්ගේ ගීත රසවින්දනයෙන් පසු ඔවුන්ගේ රසඥානය, වින්දනය බිඳක් හෝ ඔසවා තබන්නට කොළඹ සරසවියේ මානව ශාස්ත්‍ර පීඨාධිපති මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා සමඟ, ජනමාධ්‍ය අංශාධිපති මහාචාර්ය සමන්ත හේරත් දෙදෙනා ගත් වෙහෙස අගය කළ යුතුය. ඊට නිසි ගෞරවය පිරිනැමිය යුතුය.

ප්‍රේම ගීතාවලියකට වඩාත් උචිත ගීත තෝරා පෙළ ගැසීම දුෂ්කර කාර්යයකි. මෙහිලා සමන්ත හේරත් මහැදුරුතුමා නූර්තියෙහි ජනප්‍රිය පෙම් ගී අතර අදත් මතකයේ රැඳී ඇති පද්මාවතී, වෙස්සන්තර ගීත, පෙම්බර දේවී මගේ, මගෙ මද්‍රි නම් බිසෝගේ, නාඩගම් හා ශෛලිගත සම්ප්‍රදායෙන් නිමැවුණු මනමෙ, ප්‍රේමයෙන් මන රංජිත වේ, ඇදුරුතුමා වන්න මගේ, චිත්‍රපට පෙම් ගීතයේ විශිෂ්ට හා ජනප්‍රිය නිර්මාණ, බොඳ මීදුම් කඳු රැල්ලේ, සීත අරණේ, සුවඳ දැනි දැනී, ආරාධනා, නිම්හිම් සෙව්වා, චන්ද්‍රා මෙ රෑ පාය ආවා, ජනප්‍රිය හා අර්ථපූර්ණ සරල ගීතයේ මිහිරි ඵල සේ රස විඳින නවාතැන් පොළ ඔබයි, සුපෙම් හැඟුම්, මලට බඹරෙකු සේ, මේ මැයි ගහ යට, ඔබ මගෙ ස්වාමියා නොවේ, මේ පාළු සීත රාත්‍රියේ, ගතින් ඉන්නට නැතත් ළංවී, ටෙලි නාට්‍ය ගී අතර අතිශය සුන්දර පෙම් ගීයක් වූ සුවඳයි මල් සුවඳ සේ වැනි ගීතාවලියක සැඟවුණු ප්‍රේමයේ චමත්කාරය, මිහිර, ඇතැම් ගීයක මුල් ගායනයෙන් ශ්‍රාවක සිත්හි රැඳවූ මිහිර එලෙසින්ම මතකයට නඟා ගැන්මට හැකිවන පරිද්දෙන් ගායනා කිරීමට නව ගායනා සමත් වූ බව දැනිණ. පෙම්බර දේවී, ඇදුරුතුමා, ප්‍රේමයෙන් මන රංජිත වේ, සසදර මනනන්ද, වැනි ගීත ගායනයට අමතරව මාදනී හා දිද්දෙනිය ඉදිරිපත් කළ රංගන ද, රම්‍යකාමනා ගීතාවලියෙහි ප්‍රේමාන්විත රූපයට නව මානයක් එක්කිරීමට සමත් වූ බව දිටිමි.

නවාතැන් පොළ ඔබයි, සුවඳයි මල් සුවඳ සේ, සඳ පහන් රැයේ, වැනි ඉන්දිකාගේ ගායනා ද, ප්‍රදීපාගේ සුපෙම් හැඟුම්, සබෑ උරුමක්කාරයා, මාදනී හා දිද්දෙණියගේ සසදර මන නන්ද, ප්‍රේමයෙන් මන රංජිත වේ, ඇදුරුතුමා වන්න මගේ, සමන් ලෙනින්ගේ මේ මැයි ගහ යට, සුවඳ දැනි දැනී , නෙලූ හා කපිලගේ බොඳ මීදුම් කඳු රැල්ලේ, සීත අරණේ, චන්ද්‍රා මෙ රෑ පාය ආවා, ගීත ද, මාදනී ගේ මේ පාලු සීත රාත්‍රියේ, නෙලු අදිකාරිගේ ගතින් ඉන්නට නැතත් ළංවී, රවීන්ද්‍ර අලගියවන්නගේ ගේ පාවෙලා නිල් වලාවේ, නිම් හිම් සෙව්වා, වැනි ගායනා රම්‍යකාමනා සන්ධ්‍යාව විචිත්‍රත්වයෙන් ඔප් නැංවූ ගායනා සේ වෙසෙසින් මතකයට එයි.

ප්‍රේමගීතාවලියෙහි කූටප්‍රාප්ත අවස්ථාව එළැඹුණු මොහොත ප්‍රෙක්ෂාගාරයෙහි සිත් පැහැර ගත්තී මාදනී නම් වූ අපගේ කාලයේ, අපගේ වේදිකාවේ විශිෂ්ට රංගවේදිනියයි. ස්ත්‍රියක් ඔබ අමතයි රංගනය සමඟ මාදනී මල්වත්තගේ රම්‍යකාමනාව උඩුයටිකුරු කළාය. සැණෙකින් එක් චරිතයකින් තවත් චරිතයකට පිවිසෙමින්, ඒ ඒ චරිත සඳහා උචිත අභිනය, නර්තන ලීලා, කටහඬ, ගායනා සමබරව මුසු කර ගනිමින්, මාදනී වේදිකාවේ රැඳී සිටි අඩ හෝරා අඩකට ආසන්න වූ කාලයක් තුළ කොළඹ සරසවි නවකලාගාර වේදිකාව මත කිනම් අසිරියක් සිදු වී දැයි අදහාගන්නට ඉඩක් නොලැබිණ. මාදනී සතු වූ පූර්ණ රංගන කුසලතා සතු නිළියක පසුගිය දශක තුන හතර තුළ මෙරට කලා ක්ෂේත්‍රයෙහි හමු නොවූ බවයි මගේ විශ්වාසය.

ඈ රම්‍යකාමනාවෙහි ස්ත්‍රියක් ඔබ අමතයි, භූමිකාව තුළ ප්‍රතිනිර්මාණය කළ එකිනෙකට වෙනස් වූ භූමිකා සියල්ල ඇගේ නිසග ප්‍රතිභාවෙහි කැඩපත වැන්න. ඈ වන් නිළියක් කිනම් රටක් වුව, කලා ක්ෂේත්‍රයට සම්පතකි. ඈ වැන්නියකගේ අසමසම , අතුල්‍ය ප්‍රතිභාව ජීවමානව දැකගන්නට කොළඹ සරසවි නවක මානවක මානවිකාවෝ වාසනාවන්ත වූහ. එවන් විද්‍යාර්ථීන් පිරිසක් ඉදිරියේ තම රංගන, ගායන කුසලතා එළිදැක් වූ මාදනී ද අනෙකුත් ගායක ගායිකා පිරිස ද වාසනාවන්තයෝමය.

බුද්ධ­දාස ගල­ප්පත්ති