Language Switcher

V2025

බැසිල්ගේ අයවැය සහ සුළු පක්ෂ නිරුවත !

බැසිල්ගේ අයවැය දෙවෙනි වර කියවීමේ විවාදය මේ දවස්වල පැවැත්වෙනවා. පාර්ලිමේන්තුව ඇතුළේ මොනවගේ වාදවිවාද තිබ්බත් මේ රටේ ජනතාවගේ හදවත්වල නං තියෙන්නේ අයවැය ගැන දැඩි විරෝධයක්. වෛරයක්.ඇත්තටම ජනතාවට සහන දෙන්න ආපු බැසිල් ජනතාවට මොකුත්ම සහනයක් නොදුන් අයවැයක් මේක.ඒක නිසා අයවැය ඉවර වෙන්නත් කලින් ජනතාව අයවැයට එරෙහිව පාරට බහිනවා.ඒ බව දන්න නිසාම ආණ්ඩුව කෝවිඩ් නීතිරීතිවලට මුවාවෙලා ඒ ජනතා විරෝධය මඟහරවා ගන්න උත්සාහ කරන බවත් පේනවා.

ඇත්තටම මේ අයවැයෙන් ජනතාව වගේම අමාරුවේ වැටුණු තව කොටසක් ඉන්නවා. හැබැයි ඒ ආර්ථික වශයෙන් නෙවෙයි දේශපාලන වශයෙන්.ඒ තමයි ආණ්ඩුව ඇතුළේ ඉන්න සුළු පක්ෂ සන්ධානය.එයාලා ආණ්ඩුව ඇතුළේ කරපු බැසිල් විරෝධී සටන අයවැයත් එක්කම ලත් තැනම ලොප්වෙලා. පොහොට්ටුවේ පස්වෙනි ජාතික සමුළුවේදී මහින්ද පිටට දාපු තට්ටුව තවමත් වැඩ කරන බව පේනවා.බැසිල් ඉදිරිපත් කරපු මේ අයවැයට සහය දෙනවද නැද්ද කියලා තීරණය කරන්න සුළු පක්ෂ සන්ධානය පහුගිය දවසක ගම්මන්පිලගේ ගෙදර රැස්වෙලා තිබුණා. හැබැයි එයාලා අයවැය සම්බන්ධව තමන්ගේ තීරණය රටට කිව්වේ නෑ.ඒ වගේම ශ්‍රීලනිප නායක මෛත්‍රී කිව්වේ අයවැය සම්බන්ධ තීරණය ඉදිරි මධ්‍යම කාරක සභාවේදී ගන්නවා කියලා.හැබැයි අයවැය සම්බන්ධ සුළු පක්ෂ ගන්නා තීරණය ප්‍රකාශයට පත්කරලා නොතිබියදී සුළු පක්ෂවල කට්ට්ය අයවැය විවාදයේදී අයවැයට වගේම බැසිල්ට ගායනා කරන ප්‍රසස්ථි ගී ඇහෙනකොට ඇත්තටම ලැජ්ජා හිතෙනවා.

ඒකෙන් මෙයාලගේ තීරණය මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්.ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අවසන් තීරණය මොකද්ද කියලත් හිතාගන්න පුළුවන්.දැන් ගොඩක් අයට රටේ රාළ කිව්වා වගේ යුගදනව් අමතකයි.ගොඩක් අයට දැන් බැසිල් සූර සරදියෙල් කෙනෙක් වෙලා ඉවරයි.සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු පංච මහා බලවේගයට කොකා පෙන්නුව අයවැය ගැන කවි සීපද කියන්න දයාසිරිටත් සිද්ධ වෙලා.විමල් බැසිල්ව නිදොස් කොට නිදහස් කළේ අමුතු විදිහකට.විමල් කියපු ඇත්ත තමයි අපි ඉන්නේ විවෘත ආර්ථිකයේ අවපාත අවධියේ.අවපාත අවධියෙත් ගැට්ටේ කියලා.ඒක නිසා දැන් ඉස්සර දාපු සෙල්ලං දාන්න බෑ.කවුරු බලය ගත්තත් මෙච්චරයි කියලා.හැබැයි විමල් එතනදී නොකිව්ව ඇත්ත කතාවක් තියනවා.විවෘත ආර්ථිකයේ අවපාත අවධිය මේක නං.අපි ඉන්නේ ඒකෙත් ගැට්ටේ නං එහෙනං විවෘත ආර්ථිකයට එරෙහි පරිවර්තනය කරන්න හොද කාලයත් මේක තමයි.

අලුත් ආර්ථික උපායමාර්ගයක් ගැන හිතන්න හොදම කාලයත් මේක.ඒකට ඕනි විෂය මූලික වටපිටාව හැදිලා තියනවා.එතනදී විමල් හරියටම කිව්වා අපි නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනි කියලා.ඊළගට කිව්වේ ඒ වෙනුවෙන් බැසිල් ග්‍රාමීය සංවර්ධනයට මුදල් වෙන් කරලා තියෙනවා කියලා.ඒක තමයි ලැජ්ජා නැති කතාව.බැසිල් අවුරුදු කීයක් ඔය වැඩේ කලාද.ඒවායින් අපි අත්කරගෙන තියන සංවර්ධනය රට දෙපැත්තෙනා බේරෙනවා. විමල්ලට අනුව නං ඒ නව පුනරුදයේ පියා බැසිල්.විමල්ගේ නූතන ඇඩම්ස් ස්මිත් බැසිල් වගේ.රටේ රාළට පුදුමේ ඇත්තටම කොහොම ඒවට විතරක් විමල් බැසිල්ව වෙන් කරලා,සුදු හුණු ගාලා.බැසිල්ට තොත්තුවක් දීලා ගන්නේ කියලා.එතකොට මේ ඉන්නේ විමල් ජානීපෙ අභයන්තර සාකච්ඡාවලදී කියන ඇමරිකන් CIA ඔත්තුකාරයා නෙවෙයිද?එතකොටම මේ ඉන්නේ ඇමරිකාව වෙනුවෙන් අවි අතට ගන්න ලෑස්ති කියලා දිවුරුම් දීපු දිත්ව පුරවැසියා නෙවෙයිද?විමල්ගේ ඊයේ කතාව ඇතුළෙත් විමල් මාර ඇමරිකන් විරෝධයක් පෙන්නුවා. විපක්ෂයේ යුටෝපියාව ඇමරිකාව කියලා කිව්වා.

හැබැයි ලැජ්ජාව කියන්නේ විමල් ඒවා කියන්නේ හිටපු හා ඉන්න ඇමරිකන් පුරවැසියෝ දෙන්නෙක් ඉස්සරහා දණ ගහගෙන.එහෙම ලැජ්ජාවක් විමල්ට දැනෙන්නේ නෑ.එතකොට මේ අර විමල් කිව්ව තක්කඩි විදහට කැබිනට් එක මුලා කරලා රෑ 12 ට වවුලෝ එක්ක ගිවිසුම් ගහලා රටේ LNG ඒකාධිකාරිය ඇමරිකාවේ New fortress energy සමාගමට දුන් බැසිල් නෙවෙයිද?ඒවා කරන්නේ ඇමරිකන් උපායමාර්ගයට අනුව නම් මේවා කරන්නේ ඇමරිකන් උපාය මාර්ගයට අනුව නෙවෙයිද?ඇත්තටම මේ අයවැයෙන් බැසිල් එක දෙයක් කරනවා.සුළු පක්ෂ යටත් කරලා, එයාලගේ ඡන්දෙත් අරන්,රෙදිත් ගලවනවා. විමල්ට අනුව බැසිල් නරක රෑ 12 පැන්නට පස්සේ.ඒ වෙලාවට විමල් නිදි.රටේ රාළ කියන්නේ සුළු පක්ෂ සන්ධානය මෙතනදී හිට ගන්නේ ජනාතාවගේ පැත්තේ නෙවෙයි. ශ්‍රීලනිපය හිටගන්නේ සඟ,වෙළඳ, ගුරු,ගොවි, කම්කරු පංච මහා බලවේගයත් එක්ක නෙවෙයි.වාසුලා ගත්තේ පීඩිතයාගේ පැත්ත නෙවෙයි.

අඩුම ගානේ රටේ ජනතාවට ශත පහක සහනයක් අරන් දෙන්න උත්සාහ නොකරපු සුළු පක්ෂ කරන්නේ බැසිල්ට බැන බැන බැසිල්ටම කඩේ යන එකම තමයි.හැබැයි මෙතනදී රටේ රාළ ශ්‍රීලනිපයටත් අනතුරු ඇඟවීමක් කරනවා.බැසිල්ගේ අයවැයට ඔහොම කඩේ ගිහින් තමන්ට බිම් මට්ටමේ ඉතුරු වෙලා තියෙන ඡන්ද පදනමත් නැති කරගන්න එපා කියලා.විමල් ඊයේ විපක්ෂයට අලුත් අරගල මාදිලි ගැන ටියුෂන් දෙනවා දැක්කා.විමල් කොහොමත් ටියුෂන් කාරයා තමයි.ඒකට විමල් දක්ෂයි.හැබැයි විමල්ගේ තියරි වැරදියි.නිකං හිතන්න සුළු පක්ෂ සන්ධානය විදිහට ජනතාවට යමක් මේ අයවැයෙන් දිනලා දෙන්න එයාලා මොනවද කළේ?හරි,මේ කෝවිඩ් වෙලාවේ ජනතාව පාරට ගැනීම වැරදී.රටේ රාළත් ඒක පිලිගන්නවා.එහෙම නං ආණ්ඩුව ඇතුළේ ඉන්න විපක්ෂය විදිහට අයවැයෙන් ජනතාවට සහනයක් ලබා දෙන්න මොනවද ඔයාලා කළේ.කෝ ඒ අලුත් අරගල මාදිලිය.ඔය කරන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න අරගල මාදිලිය නෙවෙයිද?

ඇත්තටම සුළු පක්ෂ සන්ධානයට අයවැය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න තිබුණා. තවමත් පුළුවන්.ඒ සදහා ඕනි කරන තත්වය ආණ්ඩුව ඇතුළේ වගේම එළියේත් තියනවා. යුගදනවි සම්බන්ධව ජනාධිපතිගෙන් ඉල්ලපු සාකච්ඡා දෙන්න බෑ කියලා ජනාධිපති මෙයාලට ලිඛිතව දන්වලා දේශපාලන වශයෙන් දෙකයි පනහට දැම්මා.ඒ වගේම යුගදනවි බලාගාර ගිවිසුම ගැන සුළු පක්ෂ සන්ධානය කියන්නේ බොරු කියලා දන්වලා නොන්ඩි කළා.ආණ්ඩුව ඇතුළේ ඉන්න හැම ඇච්චා බැච්චම දාලා ගැහුවා.පලයල්ලා කියලා කිව්වා.තවමත් කියනවා.ඊයේ විමල්ගේ කතාවට ආණ්ඩුව පැත්තෙන් ගැහුවේ ප්‍රමිත. විමල්ගේ බොරු ඇමරිකන් විරෝධය ගැන මිනිහා ව්‍යංගාර්ථයෙන් බඩ පිරෙන්න දුන්නා. දන්නෝ දනිති.ඒ කරපු සියලු දේශපාලන අවතක්සේරු කිරීම්වල වාඩුව ජනතාවගේ පැත්තේ ඉඳන් ගන්න තිබුණ හොදම අවස්ථාව තමයි මේක.

ඇත්තටම මහින්ද දන්නවා මෙයාලා දේශපාලන වශයෙන් නිවටයි කියලා.ඒක නිසා අයවැය ඉදිරිපත් කරලා ඡන්ද ටික ගැනීම වෙනුවෙන් කට්ටියගේ පිට අතගෑවා.ඒ පිටට දාපු තට්ටුව වෙනුවෙන් තමන්ට ඡන්ද දුන්න ඡන්දදායකයා මෙයාලා අද පාවලා දීලා තියෙනවා.ඇත්තටම මේ මතුවෙලා තියෙන අර්බුදය නිසා තමන් ශක්තිමත් කියලා ලෝකයට පෙන්නන්න ආණ්ඩුවට මේ අයවැයට තුනෙන් දෙක ඕනි.ඒක ගන්න බැරි නං ඒක එයාලාගේ ලොකු දේශපාලන පරාජයක්.ඒ වෙනුවෙන් තමයි එදා මහින්ද පොහොට්ටු සමුළුවේදී කට්ටියගේ පිට අතගෑවේ.ඒක තේරුම් ගන්න ඔය තුන් කල් දකින නායකයන්ට බැරි උනා.එයාලට උපදෙස් දෙන න්‍යායාචාර්යලාටත් බැරි උනා.ඇත්තටම එතන තමයි මෙයාලට කේවල් කරන්න තිබුණ හොඳම තැන.තුනෙන් දෙක ඕනි නං මේ යෝජනා ක්‍රියාත්මක කරන්න කියන කේවල් කිරීම කරන්න ඕනි තරම් අවස්ථාව තිබුණා. ඒක දේශපාලන නාඩි වැටෙන ඕනි කෙනෙකුට තේරෙනවා.

සුළු පක්ෂය සන්ධානයට ඡන්ද 28 ක් තියනවා. හරියට බැස්සා නං ඒක 35 ක් කරගන්න පුලුවන්.ඒ හත රටේ රාළ හොයලා දෙනවා. සත්තයි.හරි ඒ හතම නැති උනත් මෙයාලගේ 28 ට නෑ කියන්නේ තුනෙන් දෙක නෑ.ඒ කේවල් කිරීම ජනතාව වෙනුවෙන් කරන්න මෙයාලට කොන්දක් තිබුණේ නෑ.ඇත්තටම ඒ කේවල් කිරීම හරහා ජනතාවට දෙයක් දිනා දෙන්න සුළු පක්ෂ සන්ධානයට ඕනි තරම් ඉඩ තිබුණා. තවත් ඉඩ තියනවා.එත් මෙයාලා කළේ බැසිල් ඉදිරිපත් කරපු ජනතා පීඩක අයවැයට කඩේ යෑම විතරයි.ඇත්තටම මෙයාලා ආණ්ඩුවේ ඉදන් කරන මහෝෂධ භූමිකම්පාවක් නෑ.ඒක බඩ වඩා ගැනීම වෙනුවෙන් කටු සූප්පු කරන භූමිකාවක්.එහෙම කරපු විමල් විපක්ෂට අලුත් අරගල මාදිලි ගැන උගන්නන්න හදනවා.තමන්ට ආව අවස්ථාව හරියට කළමණාකරණය කරගන්න උපක්‍රමය තෝරන්න බැරි විමල්ලා අලුත් අරගල මාදිලි ගැන ලෝකෙට ටියුෂන් දෙනවා.

හැබැයි අවසාන යථාර්ථයට සුළු පක්ෂවලටත් මුහුණ දෙන්න වෙනවා.මෙයාලා ඡන්ද ටික අරගෙන ආයෙත් පයින් ගහනවා.මේ චාටු කතා තියෙන්නේ අයවැයේ ඡන්ද විමසීම වෙනකම් විතරයි.ඊට පස්සේ පයින් ගහලා එලවනවා.ඒ පයින් පාර කාගෙන මෙයාලා තව අයවැයක් එනකං බැසිල්ට බැන බැන ආයෙත් පිලිකන්නට යනවා.ඒක තමයි මෙයාලගේ නලලේ කොටලා තියෙන දේශපාලන ඉරණම. රටේ රාළ මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ එහෙව් හාදයෝ මේ රටේ දේශපාලන ඉරණම ලියලා දෙනකම් බලා හිටියොත් සියලු දෙනාටම අබ සරණ තමයි.

එහෙනම් ගිහින් එන්නම්. බුදු සරණයි ජයවේවා.

මීට රටේ රාළ.

ප්‍රියන්ජිත් විතාරණගේ ෆේස්බුක් පිටුවෙනි.