බොහෝ අය නැවතත් අපගෙන් අසන ප්‍රශ්නය අප රනිල් ට හෝ මෛත්‍රීට කඩේ යන්නේද යන්නයි. පසුගියදා දීප්ති සහෝදරයා සහභාගී වූ ස්වාධින රුපවාහිනියේ ‘තීරණය’ වැඩ සටහන පිළිබද කොමෙන්ටුවක් දමමින් කමල් පෙරේරා විසින්ද එම පැනයම අසා ඇත.
එසේ කඩේ යෑමට අපට උවමනාවක් නැතත් අපිට නැවත රට ආපසු යෑමට කිසිසේත් ඉඩ තැබිය නොහැක. දිනාගත් දෙය අතහැර අපට රට ආපසු රාජාණ්ඩු වාදයක් වෙත යනතුරු බලා සිටිය නොහැක. අපට මෙම වර්තමාන වැඩපිලිවෙල ගැන විවේචනයක් නැතුව නොවේ. නමුත් වෙන කරන්නට දෙයක් නැත. උදාහරණ වශයෙන් මා ඊයේ පෙරේදා සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගී වූ යම් වැඩ මුළුවකදී ඔවුන් කියා සිටියේ මේ රට නැවත ගොඩ ගැනීමට ආඥාදායක ක්‍රමයක් වෙත යා යුතු බවයි. රුසියාවේ පුටින් පන්නයේ පාලනයක් ඔවුන් ඉල්ලා සිටි. එවන් තත්වයකදී අපිට විශාල කාර්ය භාරයක් ඇති බව මගේ හැඟීමයි. එමනිසා ලැබෙන මාධ්‍ය අවකාශය අපි සමාජ ප්‍රගමනය පැත්තේ සිට පාවිච්චි කිරීමට තීරණය කර ඇත. අපි ඉතිහාසයට පක්ෂපාත විය යුතුව ඇත.
අනෙක් අතට රනිල් පිලිබදව ප්‍රශස්ති නොලියවෙනවා ද නොවේ. මෑතදී එවන් ලිපි කිහිපයක්ම අපි දුටිමු. ඉන් එකක් නම් සමුනි සමරකෝන් විසින් ලියු රනිල් රැකගත යුතු ඇයි? යන ලිපියයි.
අධිරාජ්‍යවාදීන් විසින් තම අනුප්‍රාප්තිකයින් ලෙස පුහුණු කර මෙරට ‘අතහැර’ දමා ගිය ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියට හැර අන් කිසිවකුට රටක් පාලනය කළ නොහැක යන මතවාදය සඳහා උදාහරණයක් ලෙස සමුනි ගේ එම ලිපිය සැලකිය හැකිය. විශේෂයෙන් ලිපිය ආරම්භයේ මෙම ලියුම් කරු රනිල් ගේ පවුලේ පැටිකිරිය ඉස්මතු කරන්නේ එම නිසාය. එම පවුල් කිහිපයෙන් මෙපිට රටක් පාලනය කිරීමට කිසිවෙක් නැත යන මතවාදය ලියුම්කරු තහවුරු කරයි.
ඉහත පවුල් වර්ගයට ‘තරඟකාරී ලෙස’ අසුවන වසන්ත සේනානායක වගේ පුංචි රදළයින් කල්පනා කරන්නේද මේ මානසික ව්‍යුහය තුලම සිටිමිනි. ‘අපි තමයි වැඩකාරයෝ. අපේ ලේ වල ඒක ලියවිලා තියෙන්නේ. වහලුනි, අපිට දියවූ පාලන බලය. තොපි ඔතනම හිටපියව්.’ සිංගප්පුරුවෙන් ආනයනය කරනවා හැර කිසිදු ලාංකික දක්ෂයෙක් රනිල්ට මේ මහ පොළොවෙන් හමු නොවේ! රනිල්ගේ ලෝක දෘෂ්ටියට අනුව ලාංකික උගතුන් අරපරිස්සම, කලමණාකරණය දන්නේ නැත! මුල්‍ය විධික්‍රම දන්නේ නැත. මහ බැංකුවක් පාලනය කිරීමට තරම් ඔවුන් විශ්වාස කල නොහැකිය. ලාංකිකයින් දක්ෂයින් ලෙස රනිල් කල්පනා නොකලත් ඔහුව බේරාගැනීමට සිංහලෙන් ලිපි ලිවීමට සිදු වන්නේ එම ඉංග්‍රීසි කතාකරන සිංගප්පුරු වැසියන්ට නොවේ. ලංකාවේ සිංහල කතාකරන අපිටම ය.
වී. එස්. නයිපොල් ගේ The Mimic Men නම් නවකතාවේ එන රැල්ෆ් සිං පෙන්වන්නේ ද මෙම රෝග ලක්ෂණ යයි. රටේ අදායමට සමාන මුදලක් තම පශ්චාත් යටත් විජිත ඉසබෙලා නම් දිවයිනේ ආර්ථික උපදේශකයින් වෙනුවෙන් එම රට වැය කරයි. එම උපදේශකයින් සියල්ලෝම පැමිණෙන්නේ පිටරටිනි. තම රටට කිසිවක් ස්වාධීනව තීරණය කළ නොහැක. බුද්ධිය අකර්මන්‍ය වී ඇත. පරාධීන වී ඇත. වමේ නායකයින් හටද මෙම තත්වය තුලදී විකල්ප වැඩ පිළිවෙලක් නැත. විකල්ප මතයක් නැත. ඔවුන් නිරුත්තර වී ඇත. ලිබරල්වාදයේ නියෝජිතයා ලෙස රනිල්ට අවිඥානිකව ආශා කරනවා හැරෙන්නට ඔවුන්ට වෙන කල හැකි දෙයක් නැත. ඔවුනට ද රනිල් ව තම සද්භාවය තුල ස්ථාන ගත කර ගත නොහැක.
ෆැනොනියානු අර්ථයෙන් රනිල් විවේචනය කරන විටම ඉස්මතු වන තවත් ගැටළුවක් ඇත. එනම් රනිල් වෙනුවට ආගමනය වීමට ඉඩ ඇත්තේ කවුද යන ගැටලුවයි. රනිල් ගේ ආදේශක පෞරුෂයන් වැටී ඇත්තේ ෆැනොන් ම සඳහන් කරන ජාතිකත්ව – දේශීයත්ව මඩ ගොහොරුවේය. එම තත්වය තුළ මෛත්‍රීට පවා නොලැබෙන වටිනාකමක් රනිල් ට ලැබේ. අධිරාජ්‍යවාදී අධිකාරික සංස්කෘතියක් තුළ (සියල්ල සමතලා කර පරිභෝජනවාදය තහවුරු කරන) ජාතිකත්ව සහ දේශීයත්ව යහපත් සාරය (healthy content) රනිල් නියෝජනය කල යුතුය. බුර්ෂුවා දේශපාලඥයෙකුට මෙය තරමක් අපහසු දෙයකි. ඒ සඳහා රනිල්ට ඉතිහාසය සහ සංස්කෘතිය ගැන හොඳ අවබෝදයක් තිබුනද ගැටළුව නම් එය භාවිතා කිරීමේදී ඔහු දක්වන අපොහොසත් භාවයයි. විගලිතභාවයයි. දුරස්ථභාවයයි.
යම් හෙයකින් පවතින අර්බුදකාරී තත්වය තුල යමෙක් රනිල් ට පක්ෂපාති වන්නේ නම් එසේ විය යුත්තේ රනිල් නුතනවාදියෙක් ලෙස තම දේශපාලනය තුල පෙනී සිටින්නේ නම් පමණි. එසේ නැතුව රදළවාදයක් හෝ රාජකීය පාසැල් වාදයක් හෝ ඉංග්‍රීසි භාෂා අධිපති වාදයක් හෝ ඔහු කරපින්නා ගන්නේ නම් එයට වහාම විරුද්ධ විය යුතුය. කුමක් වුවද ඒ සඳහා බරපතල දාර්ශනික සාකච්චාවක් අවශ්‍ය වී ඇත. අපගේ අනාගතය සමස්තතාවාදය ද නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය ද යන්න තීරණය වියහැකි අතිශයින් තීරණාත්මක මෙම මොහොතේ එවැනි සංවාදයක මාතෘකාව විය යුත්තේ ‘රනිල් රැක ගත යුතුද?’ යන්න නොව ‘රනිල් නුතනවාදියෙක් ද?’ යන්නයි. ‘Is Ranil a Modernist?’
එවන් සාකච්චාවක් සඳහා අවශ්‍ය නම් යමෙකුට සුදත් චන්ද්‍රසේකර ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ද පාදක කරගත හැකිය (මා මේ බ්ලොග් සටහන ලියන විට සහ මිට දිනකට පෙර ‘යදමින් මිදුණු ජැන්ගෝ‘ (Django Unchained) සටහන ලියන විටද සුදත්ගේ මෙම ලිපිය මා දැක තිබුණේ නැත). නුතනත්වයේ මුලිකම ලක්ෂණය ‘මානවවාදය’ (humanism) නම් එය රනිල් තුල ඇද්ද නැද්ද යන්න සුදත් යම් ආත්ම මුලික තැනක සිට (subjective experience) පෙන්වා දී ඇත.
සුදත් සඳහන් කරන කරුණු කොතෙක් දුරට සත්‍ය දැයි කොළඹ දේශපාලනයෙන් ඉතාම දුරස්ව ජිවත්වන ගැමියෙක් වන මා නොදනිමි. කෙසේ වුවද සුදත් තමා දෙස රනිල් බලාගෙන සිටින බවට (gaze of the master) නොසිතිය යුතුය (ස්වාමි-වහල් බන්ධනයෙන් ගැලවීමේ ප්‍රථම පියවර එයය. Django Unchained චිත්‍රපටයේ හැර ස්වාමියා කිසිසේත් තම වහලා නිදහස් කරන්නේ නැත. මන්ද වහලාගේ බන්ධනය යනු ස්වාමියාගේ අවිඥානික සීමාව වීම එයට හේතුවයි). සුදත් ගේ ලිපියේ කරුණු වල සත්‍ය අසත්‍යතාවය පිළිබද මෙන්ම පශ්චාත් යටත් විජිත ලංකාව තුළ නුතනත්ව ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම පිණිස රනිල් තවදුරටත් අදාල වේද යන්න කතා කිරීම වැදගත් යැයි හඟිමි. එය වමට මඟ හැරිය හැකි දෙයක් නොවේ. මන්ද නුතනත්වයේ ම ඇති විරුද්ධාභාශය (paradox of modernity) ගැන වමට ඉගෙනීමට හැකි වන්නේ එවන් මැදිහත් වීමකින් පමණි. ‘මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා‘ වැනි විසි වන සියවසේ සුපර් ස්ටාර් වැඩ වලින් තවදුරටත් අපට ඉගෙනීමට දෙයක් නැති බව කවුරු කවුරුත් අවබෝධ කර ගැනීම මේ මොහොතේ ඉතා වැදගත්ය. නමුත් නුතනත්වය ගැන දිගට ඇදෙන එවන් සාකච්චාවක් සඳහා අවශ්‍ය ගැඹුරු නුතනත්වය ගැන අවබෝධයක් ඇති මිනිසුන් ලංකාව තුල ඇත්තේ අතලොස්සක් පමණි. මන්ද සුදත් දකින රනිල්ගේ අව මානුෂික බව (de-humanizing features) යනු ම ඔහුගේ නුතන ලක්ෂණයක් ද විය හැකිය යන්න දැනට කෝපයෙන් සිටින ඔහුට නොතේරිය හැකි බැවිණි.
අනෙක් හැමෝම කට කමසෙයියාවක් නැතුව ලෝකේ කොහෙවත් නැති මාක්ස්වාදයක් සහ කොමියුනිස්ට් සමාජයක් ලංකාවේ හදන්නේ කෙසේද යනුවෙන් බොරු සංවාද කරමින්, අවතාර සඟරා කරමින් සිටින වකවානුවක අපි නිර්භීතව රනිල් නම් බුර්ෂුවා දේශපාලඥයා ගැන කතා කරමු. නව ඒකාධිකාරී පාලන ව්‍යුහයන් ලොව පුරාම වයිරස් මෙන් පැතිර යද්දී බුර්ෂුවා දේශපාලනයේ අනාගතය කුමක්ද යන්න වැදගත් ප්‍රශනයක් වන්නේ නොවේද? මෙතෙක් පැවති යම් යම් ශිෂ්ට භාවිතාවන් ඩොනල්ඩ් ට්‍රම්ප් බල්ලාට විසිකර ඇත. දවසකට වරක් නිල් චිත්‍රපට නිළියක් රුපවාහිනියට අවුදින් මොකක් හෝ හුටපටයක් ට්‍රම්ප් සම්බන්දයෙන් හෙළි කරයි. මෙවන් තත්වයක් නුතන බුර්ෂුවා නියෝජිතයෙකු වූ ඔබාමා ඇති කර ගත්තේ නැත. නමුත් එම ශිෂ්ට ව්‍යාපෘතිය ට්‍රම්ප් අවසන් කරමින් සිටී. එසේම ඔහු වැන්නන් ජනප්‍රිය වෙමින් ද ඇත. එයින් අදහස් වන්නේ බුර්ෂුවා දේශපාලනය විසින් මෙතෙක් මෙහෙයවන ලද නුතන දේශපාලනය පිළිබද මුලික ප්‍රවාදය නැවත වරනැගිය යුතුව ඇත යන්නය. එනම් නුතන පිතෘත්ව ශිෂ්ටත්ව ව්‍යාපෘතිය අවසන් ද?
අප මේ පිලිබදව කතා බහ කරන්නේ නම් අවශ්‍ය වන්නේ රනිල් ලංකාව තුල නැවත නෛතිකකරණය කිරීම නොව නුතන ව්‍යාපෘතියේ අධ්‍යතන දිශානතිය තේරුම් ගැනීමයි. කෙසේ වුවද රනිල් ලාංකික දේශපාලනය තුල තවදුරටත් තබා ගත යුතුද යන ගැටළුව ආමන්ත්‍රණය කරන යම් යම් ලිපි වැඩි වැඩියෙන් කියවීමේ පාඨක ප්‍රවණතාවයක් ඉසමතු වෙමින් ඇත. එයින් අදහස් වන්නේ එවන් ගැටළුවක් දේශපාලන දර්ශනය තුල විසඳා දීමේ අවශ්‍යතාවයක් ඉස්මතුව ඇති බවයි. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල්ගේ පැවැත්ම සාධාරණීකරණය කරන්නවුන් සැලකිල්ලට ලක් කරන්නේ මතුපිට කරුණු වගයකි. නමුත් සංවාදය ඉන් ඔබ්බට යා යුතුය.
(යම් ආකාරයක සාකච්චාවක් ඉදිරියට ගෙන යෑම පහසු කර ගැනීම පිණිස මෙම බ්ලොග් සටහනේ මුල් ලිපියේ ඇතැම් තැන්වල තිබු වාක්‍ය මේ වන විට සංශෝදනය කර ඇත)
Mahesh Hapaugoda
මාතවවාදයට අමතරව නුතනත්වයේ තවත් වැදගත් ලක්ෂණ කිහිපයක්
Defining Characteristics of Modernity
There have been numerous attempts, particularly in the field of sociology, to understand what modernity is. A wide variety of terms are used to describe the society, social life, driving force, symptomatic mentality, or some other defining aspects of modernity. They include:
සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහ යනු ලංකාවේ සුදු පාලන සමයේ පළමු සිංහල දිසාපතිවරයාය. ඔහු වියළි කලාපයේ රාජකාරිවල නියුතුව සිටියදී කැලෑ වැදුණ පුරාණ වාරිකර්මාන්තයේ වැව් පිළිබඳව ආර්ථික දෘෂ්ටිකෝණයකින් කල්පනා කළේය. ඊට සමගාමීව ඉංග්‍රීසි අධිරාජ්‍යයේ කොළණි හෙවත් ජනපද වැඩපිළිවෙළ පිළිබඳවද උනන්දුවෙන් අධ්‍යයනය කළේය.
තම රට දිළිඳුකමෙන් ගොඩගත හැක්කේ කෘෂිකර්මාන්තය ඔස්සේ ලබන ආර්ථික සංවර්ධනයකින් බව තේරුම්ගත් වික්‍රමසිංහ දිසාපතිතුමා, සියතින්ම ලංකාවේ ගොවිජනපද ව්‍යාපාරයේ සියලු සැලසුම් සකස් කිරීමට යුහුසුළු විය. උද්‍යෝගිමත් ක්‍රියාශීලී ඩී. එස්. සේනානායක මැතිඳුගේ දේශපාලන නායකත්වය යටතේ තම ගොවිජනපද ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කළ යුතු යැයි සී. එල්. වික්‍රමසිංහ දිසාපතිතුමා තීරණය කළේය. රාජ යුගයෙන් පසුව ලංකා ඉතිහාසයේ පළමු ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙළෙහි තිරයෙන් පිටුපස සිටි දැවැන්ත ආර්ථික කළමනාකාරවරයා වන වික්‍රමසිංහ දිසාපතිවරයා යනු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පියාගේ පියාය. එනම් පිය පාර්ශවයේ සීයාය.
ප්‍රධාන අභියෝග තුන
අධිරාජ්‍යවාදීන් තුන්කට්ටුවකට යටත්වීමෙන් දීර්ඝ කාලයක් පරිහානියට ගොස් තිබූ ලාංකීක සංස්කෘතික, ආගමික හා සමාජීය තත්ත්වය ගොඩගැනීම සඳහා 19 වන සියවසේ පෙරට පැමිණියේ විජේවර්ධන පරම්පරාවය. නිදහස් අරගලයේ හා පුනරුද ව්‍යාපාරයේ ප්‍රබලයකු වූත් ලංකා ජනමාධ්‍ය තුළ මුල් සලකුණු බවට පත්ව ඇති ඩී. ආර්. විජයවර්ධන මැතිඳු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ මව් පාර්ශවයේ සීයාය. එස්මන්ඩ් වික්‍රමසිංහ මැතිඳු හා නාලනී විජයවර්ධන මැතිනිය මෙතුමාගේ මාපියන් වන අතර පියා වරෙක ‘රන් පෑන’ නම් ජාත්‍යන්තර මාධ්‍ය සම්මානයෙන් පිදුම් ලද විශිෂ්ට ගණයේ පුවත්පත් කාලාවේදීයෙකි. එමෙන්ම එකී ක්ෂේත්‍රයේ සූර කළමනාකාරවරයෙකි. මොහුද තම පියා මෙන්ම තිරයෙන් පිටුපස සිට විශාල ජාතික මෙහෙවරයන්ට උරදුන් විද්වතෙකි.
මේ අනුව පිය පාර්ශ්වයේ නිහඬ එහෙත් සාර්ථක ආර්ථික කළමනාකරණයත් මව් පාර්ශවයේ සංස්කෘතික, ආගමික හා සමාජීය නැඹුරුවත් උපතින් ලද රනිල් පෞරුෂය, දශක හතරක ක්‍රමානුකූල දේශපාලන පරිණතභාවයත් සමඟින් අනාගත ශ්‍රී ලංකාව සශ්‍රීක රටක් ලෙස හැඩගැස්වීමේ වගකීම බාර ගැනීම සඳහා පරිණත වී ඇතැයි ජාතික විද්වත් සංසදය විශ්වාස කරයි.
මේ මොහොතේත් ජාතිවාදය නැවත හිස එසවීම නිසා රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කොට තිබේ. ප්‍රදේශීය සභා මැතිවරණයෙන් පසු ජාතිවාදී ගැටුම්වලට නැඹුරුවක් පෙන්වමින් සිටී. රට හමුවේ ඇති මූලික අභියෝග තුනෙන් අංක එක ලෙස විද්වත් සංසදය හඳුනාගෙන ඇත්තේ ජාතීන් අතර ඇති අසමගිය තුරන්කොට ජාතික සහජීවනය ස්ථාපිත කිරීමය. අප රනිල් මැතිතුමා රැකගත යුත්තේ, පළමුව මේ අභියෝගය ජය ගැනීම පිණිසය.
නිදහසත් සමඟින් ජාතික සංහිඳියාව ගොඩනැඟීමට තිබූ අවස්ථා ගිලිහියාමෙන් ලංකාවට තිස් අවුරුදු කුරිරු යුද්ධයක පැටලෙන්නට විය. මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වැළැක්විය හැක්කේ මේ ප්‍රධානම, සංකීර්ණතම ගැටලුව විසඳා සංහිඳියාව හා සහජීවනය ඇතිකිරීමෙන් පමණය. මේ කොන්දේසිය සපුරා ගැනීම ආර්ථික සංවර්ධනයටද අත්‍යවශ්‍යම සාධකයකි.
ශ්‍රී ලංකාව කොදෙව්වක් වුවත් අප තේරුම්ගත යුතු වන්නේ අප රට ඉදිරියට ගෙන යාමට නම් ජාත්‍යන්තරය වෙතින් ශ්‍රී ලංකාව කරා ලැබිය යුතු හොඳ හිත ලබාගත යුතුබවය. එය ලබා ගැනීමේදී අප සියල්ලට වඩා ජාතික සංහිඳියා වැඩ පිළිවෙළ සාර්ථක කර ගත යුතුව තිබේ. අද වන විටත් එක්සත් ජාතික පක්ෂය සමඟ ද්‍රවිඩ, මුස්ලිම් පාක්ෂික දේශපාලනය සමගි වී හමාරය. භාරධුර කර්තව්‍ය ඇත්තේ පොදුජනයා අතර පවතින වර්ගවාදය හා ජාතිවාදය සඳහා දේශපාලන බල අධිකාරිය ඔස්සේ විසඳුම් හා අවබෝධ දීමයි. ඒ මහා දැවැන්ත කාර්ය ඉෂ්ට කළ හැකි නායකයා විදිහට අප දකින්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාය. අප මේ ප්‍රකාශය කරනු ලබන්නේ හේතු සහගතවය. මන්ද රනිල් වික්‍රමසිංහ කියන පුද්ගල චරිතය තුළ ඇති පුළුල් ජාතික දැක්ම නිසා ජාතික ගැටලුවට විසඳුම් සැපයිය හැක්කේ ඔහුට පමණය.
දෙවන අභියෝගය
රාජ්‍ය ණය බර හා ජීවන වියදම් ප්‍රශ්නයෙන් රට මුදවා ඉදිරියට ගෙන යාමට නම් ආර්ථික සංවර්ධනය වේගවත් කළ යුතු වේ. ඒ සඳහා පළමු අභියෝගය වන සංහිඳියාව, එක පැත්තකින් ඇති කර ගනිද්දී අනිත් අතින් ඒ එකමුතුව ආර්ථික තලය දක්වා වර්ධනය කළ යුතුව ඇත. එවිට ආර්ථික කඩා වැටීම නතර කර ගැනීමට පහසුකම් සලසා ගත හැකිය. මනුෂ්‍යයන් විදිහට අප කවුරුත් දුක්විඳින්න කැමති නැත. තම දරු මුණුපුරන්ට සැප පහසුව දෙන්නට කැමැත්තක් ඇත. ඒ අනුව දෙමළ, මුස්ලිම් හෝ සිංහල යනාදී භේදයකින් තොරව ආර්ථික ප්‍රශ්න නැතිව සිටීමට කවුරුත් කැමතිය. එහෙත් අපේ රට පෙළන දැවැන්ත ණය කන්දරාවෙන් මතුවී ඇති ගැටලු විසඳා ගැනීමට ද ජාතික ප්‍රශ්නයට මෙන්ම විසඳුම් දිය හැකි අද්විතීය නායකයෙකු අපට උවමනා කෙරේ. එහිදී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හැර වෙන සුදුස්සෙකු නැත.
නව ආර්ථික මාදිලියක්
මන්ද, පසුගිය අවුරුදු දෙකහමාර තුළ එතුමා ඉතා සකසුරුකමින් යුක්තව අපේ ආර්ථිකය කළමනාකරණය කිරීමට නිවැරදි තීන්දු තීරණ ගෙන තිබෙන බව දක්නට ලැබේ. එක් අතකින් විදෙස් ණය බර කන්දරාව අඩු කරගනිද්දී අනෙක් අතින් මහජනතාවට සහනදායි ආර්ථික ප්‍රතිපත්ති ඇතිකර ගැනීමට පියවර ගෙන තිබේ.
මෙලෙස නව ආර්ථික මාදිලි ඉදිරිපත් කරමින් වුවත් ප්‍රමාණවත් ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගැනීම අතිශය දුෂ්කර කාර්යයක් බවට තවමත් පත්ව තිබේ. නමුත් විද්වත් සංසදය හැටියට අප මේ තත්ත්වය තේරුම් ගන්නේ, අපේ ඉතිහාස සම්ප්‍රදායේ ඇතැම් වකවානුවල මෙවන් දුක් කන්දරාවන් හා අභියෝග තුළ පවා රට ගොඩගත් රජවරුන් සිටි බවයි.
දුටුගැමුණු රජතුමාගේ කාර්ය භාරය ප්‍රචලිතයි. නමුත් මහා පරාක්‍රමබාහු රජතුමා මුහුණ දුන් තත්ත්වය අදට සමානයි. එතුමා දේශපාලන වශයෙන් රට එක තැනකට රැගෙන ආවේය. එසේ නොකළේ නම් එතුමාගේ ආර්ථික හා ශාසනික සේවයක් මෙනෙහි කිරීමට අපට ඉතිරි වන්නේ නැත. සංවර්ධන වැඩ කළ මෙවන් සෑම රජ කෙනෙකුගේම ජයග්‍රහණ ඇතිවූයේ දැවැන්ත අභියෝග සමඟ ඔවුන් තමන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන ගියේ අප්‍රමාණ අභියෝග ජය ගනිමිනි.
පැරකුම් යුගයක් නැවතත්
පරාක්‍රමබාහු රජ තම සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියේ දකුණු ආසියාවෙ මහා යුද්ධවලට මුහුණ දෙමිනි. විශේෂයෙන් දකුණු ඉන්දියාව හා බුරුමය වැනි රටවලින් බාහිරව එල්ල වූ තර්ජන මෙන්ම අභ්‍යන්තරයෙන් එල්ල වූ අපමණ අභියෝගවලට මුහුණදීමෙන් ඇතිකරගත් බුද්ධිමය තියුණු බවෙන් තමයි අභියෝග ජයගනු ලැබුවේ. මේ අනුව අප දකිනවා රටට ජයග්‍රහණ අත්පත් කරගන්න පරිණත නායකයෙකුහට අභියෝග අවශ්‍යයයි කියල. නමුත් නිසි දර්ශනයක් නොමැති නායකයෙකුට අභියෝග එල්ල වන විට ඇති වන්නේ පරිහානියය. උදාහරණයක් දැක්වුවොත් මෙවන් විටකදී එවැනි නායකයා හෝ නායිකාව පැලැස්තරවාදීව ආර්ථික සූත්‍ර වෙත ඇදීයාමෙන් රට තවත් ප්‍රපාතයට වැටීම සලස්වා ගත් අයුරු අප දැක තිබේ.
එම නිසා අප රටට දැන් අවශ්‍යව ඇත්තේ ආර්ථික වරප්‍රසාද අවම ජනතාවට සුබසාධනවාදී ආර්ථික ක්‍රම ක්‍රියාත්මක කරන අතරම, අනාගතයේදී ඒ පිරිසට තමන්ගේම දෙපයින් නැඟී සිටීමට ශක්තිය ලබාදිය හැකි ආර්ථික දර්ශනයක්, දැක්මක් ඇති නායකයෙකි. ඔහු රනිල් වික්‍රමසිංහයන්මය. නමුත් එතුමන් සමඟ ජනතාව එකාමෙන් කැපකිරීම් කිරීමට සූදානම්වීම අත්‍යවශ්‍යයි. රජ යුගයෙ මෙවන් වකවානුවල පැරකුම් වැනි දර්ශනයක් සහිත නරපතියන් සමඟ රටේ ජයග්‍රහණ වෙනුවෙන් ජනතාව කළ කැපකිරීම් නිසා තමයි, ඒ කාලයන් ගැන අපට උදම් අනන්න හැකි වෙන්නෙ. පරාක්‍රමබාහු රජතුමා දේශීය ආර්ථිය ජාත්‍යන්තරයට ගෙන ගොස් දැවැන්ත විදේශ ආර්ථික රටාවක් ගොඩනැඟුවා. ඒ සඳහා ජනතා සහයෝගය සම්මාදමක් ලෙස ඔහුට ලැබී තිබුෙණ්. අද දිනද ජාතීන් අතර සුහද විශ්වාසය නැමති සම්මාදම ලබාගෙන රට එක තැනකට, එක මතකයකට ගොඩනඟන්න හැකි නායකයෙකු එක්සත් ජාතික පක්ෂය තුළත්, රට තුළත් සිටිනව. ඔහු නම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ය.
තෙවැනි අභියෝගය
රට හමුවේ ඇති තෙවැනි අභියෝගය වන්නේ යහපත් සමාජයක් බිහිකිරීමයි. මගේ අභියෝගය යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම යනුවෙන්ද හැඳින්වේ. 2015 ජනවාරි 08 දායින් පසුව ශ්‍රී ලාංකීක සමාජය යහපත් හෝ සුබවාදී පැත්තට කෙතරම් නැඹුරු වූවා දැයි අපි දනිමු. මැතිවරණ කොමිෂම, පොලිස් කොමිෂම වැනි ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, තොරතුරු දැනගැනීමේ පනත ආදී අණ පනත් මෙන්ම යහපත් සමාජයක් සඳහා ඇවැසි නීතිමය රාමු සැකසීමේ ක්‍රියාවලිය මෙන්ම ඒවා ප්‍රායෝගික කිරීමට ගත් උත්සහයන්ද ප්‍රශංසනීය නොවන්නේද? උදාහරණයක් ලෙස පසුගිය ප්‍රාදේශීය හා නගර සභා මැතිවරණය, ලංකා ඉතිහාසයේ පැවති දූෂණයෙන් තොර සාධාරණම මැතිවරණය බවට පත්වූයේ අහම්බයකින්ද? ජනාධිපතිවරණයෙන් හා මහා මැතිවරණයෙන් පසුව මෙන් මේ මැතිවරණයෙන්ද පසුව පශ්චත් මැතිවරණ අපරාධ හා කලකෝළහල දූරීභූත වූයේ දෛවෝපගතවද? නැත්නම් සම්මුතිවාදී රජය පදනම් දමා සකස් කළ යහපත් සමාජයේ එනම් යහපාලනයේ ඵලයක් ලෙස නොවේද?
මෙහි අනෙක් පැත්තද අපට සලකා බැලිය හැකියි. ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසුව ජයග්‍රාහී යැයි සිතූ ඇතැම් අය හැසුරුණු ආකාරයත් ඒ හා සබැඳිව ජාතිවාදී ගිනිදළු මඟින් සාමකාමී අහසේ කළුදුම් නැඟීමත් යහපාලනයේ හා අවපාලනයේ වෙනස පහදා නොදෙයිද? මුළු ඡන්දදායකයින්ගෙන් 50%ට අඩු පිරිසක් නැවත හොරකම, දූෂණය, වංචාව, ජාතිභේදය අවශ්‍ය යැයි කීවේ නම්, යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා බාධක තවමත් ඇති බව විදහා නොදැක්වෙන්නේද?
මෙවැනි අවකාශයක් තුළ රනිල් වික්‍රමසිංහ අගමැතිගේ යහපත් සමාජය පිළිබඳ දර්ශනය වඩාත් හොඳින් සසඳා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී තිබේ.
සිංගප්පූරු ස්විස්ටර්ලන්ත සිහිනය
ජාතික සමගිය හා ආර්ථික සංවර්ධනය නම් මූලික අභියෝග දෙක ජයග්‍රහණය කිරීමත් සමඟින් ශ්‍රී ලංකාව තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගොඩනඟන යහපත් සමාජය සිංගප්පූරුවේ හා ස්විස්ටර්ලන්තයේ තත්ත්වයට සමාන වන බවට කිසිදු සැකයක් නැත. මෙබඳු දැක්මක් ඇති නායකයෙකුට එල්ලවන ප්‍රහාර වැඩිය. ගෙවුණ අභාග්‍යසම්පන්න තත්ත්වයන් තුළ වුවත් රටක් වශයෙන් අප සාර්ථකත්වයක් හිමිකරගනු ලැබුවෙමු. විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමේදී මෙතුමාගේ ජාත්‍යන්තර දේශපාලන උපාය මාර්ග අතිශය වැදගත් විය. මෙබඳු නායකයෙකුට ප්‍රහාර වැඩිපුර එල්ල කරන්න පහසු වන්නේ කුණු රස බලන ජාතිවාදය තුළ පමණි. අද ජාතිවාදය නැවත හිස ඔසවන අයුරු බලන්න. උදාහරණ ලෙස නුවර සිද්ධිය හේතුකොටගෙන එක අතකින් අමාරුවෙන් ගොඩනඟාගෙන ආ ජාතික සංහිඳියාව තුළ දෙදරුමක් ඇති විය. අනෙක් අතින් ආර්ථික වශයෙන් ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ආ සංචාරක ව්‍යාපාරයට පහරක් වැදුණි. ඒ සියල්ලට වඩා අමාරුවෙන් ගොඩනඟාගත් ජාත්‍යන්තර ප්‍රතිරූපය තුළ අපට රට කළු තිතක් තැබුණි. ජාතික සමගිය සමඟ ආර්ථික සංවර්ධනය ඔස්සේ රට දියුණු මට්ටමක තවදුරටත් ගෙන ඒමට හොඳ පෙළගැස්මක් ඇතිවෙද්දී ඇත්ත වශයෙන්ම මේ ප්‍රහාර එල්ල වූයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාම ඉලක්ක කරගෙනය. ඒ වෙනත් කාරණයක් නිසා නොව 2020 ඉලක්ක කරගෙන.
මැතිවරණ දෙක
ඉදිරි මාස 18 එනම් අවුරුදු එකහමාරක් ඇතුළත තීරණාත්මක මැතිවරණ දෙකක් සීමිත කාලීනව පැවැත්වීමට නියමිතව තිබේ. දැනට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පෞද්ගලික වශයෙනුත් එතුමාගේ සංවර්ධන ක්‍රියාවලිය හා සංහිඳියාව කඩාදැමීමේ අරමුණු පෙරදැරි කරගෙන වක්‍රවත් මේ සියලු ප්‍රහාර එල්ල වන්නේ එතුමාගේ දේශපාලන ගමන නතර කර දැමීමටය. හොඳ දැක්මක් ඇති නායකයාට එල්ලවන ප්‍රහාර වැඩිය. ඔහු බිඳ දමන්න හැකි ක්‍රම දෙක විදිහට ප්‍රහාරකයින් තෝරගෙන ඇත්තේ ජාතිවාදි ගැටුම් හා ආර්ථිකය කඩාකප්පල් කිරීම් ඉදිරියට ගෙන ඒමය. එම නිසා විකල්ප කේවල පක්ෂවල රජ සිහිනය දකිනා අයගේ ප්‍රහාරවලින් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බිම දාගන්න පුළුවන් නම්, එය ඔවුනට රජ ජයග්‍රහණයක්ම වනවා නිසැකය. නමුත් තනි පෙරමුණක් ලෙස අද ශ්‍රී ලංකාවේ සෑම ජනවර්ගයක්ම එතුමා වටා කේන්ද්‍රගත වී ඇති බව පැහැදිලිය. පාවෙන ඡන්ද හා පොදු ජනයාද එතුමාගේ විභව ශක්තිය තේරුම් ගනිමින් සිටී. එම නිසා 2020 දේශපාලන බල අරගලයට මුහුණ දී රටට ජය අත්පත් කරදිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමන් බව ඉතාමත් පැහැදිලිය.
ඉතින් මෙවන් නායකයෙක් රැකගැනීමට, ආරක්ෂා කිරීමට හා ඔසවා තැබීමට අප කාටත් වගකීමක් තිබේ. මෙහිදී මහජනතාවට, බුද්ධිමතුන්ට මෙන්ම ජාතික විද්වත් සංසදයට බොහෝ කැපකිරීම් කිරීමට ඇත. මේ රට ගොඩගත හැකි, සංවර්ධනය කළ හැකි, ජාතීන් අතර එකමුතුව ඇති කළ හැකි, යහපත් සමාජයක් බිහිකළ හැකි මෙන්ම ශ්‍රී ලාංකීක ජාතියට ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරදිය හැකි රටේ ප්‍රධාන නායකයෙක් හැටියට අප පිළිගන්නා නිසා එතුමා වෙනුවෙන් ජාතික විද්වත් සංසදය හැටිය පෙනී සිටිනවා.
සමුනි සමරකෝන්
දිනමිණ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
