Language Switcher

V2025

රනිල්ට ජනවරමක් නැද්ද ?

රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආගමනය සහ ඔහුගේ හිතමිතුරන් සුරැකීමේ ප්‍රවේශය අපි බොහෝවිට  ඇතිපදම් විවේචනයට ලක් කොට තිබෙනව. එහෙත් මැතිවරණ නිරීක්ෂකයෙක් ලෙස මතුවන එක් ගැටළුවක්  පිළිබඳව යම් කෙටි සඳහනක් කල යුතුයි. මෙය මූලිකවම පදනම් වෙන්නේ වත්මන් මැතිවරණ ක්‍රමයේ ජීවය සහ පදනම එක්ක.
 
රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආගමනය සහ අනතුරුව ඔහු ජනාධිපතිධූරය දක්වා පැමිණීම තුළ නැඟෙන ප්‍රබලම චෝදනාවක් වන්නේ ඔහුට ජනවරමක් නැතැයි පැවසීම. බැලු බැල්මට එය සත්‍යයක්. කොළඹ දිස්ත්‍රික් ජනතාව ඔහු පරාජයට පත්කලා. එහෙත් මම හිතන්නෙ අපිට හිතන්න වෙනවා අනෙකුත් අවශේෂ කරුණු කිහිපයක් පිළිබඳවත්. ඒවා මෙපරිදියි.
 
01. මෙරටේ අවසන් වරට පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා උපයෝගී කරගත්තේ සමානුපාතික මැතිවරණ ක්‍රමය. එහි පදනම වන්නේ සමානුපාතිකත්වය. එයම තමයි එහි ජීවය වන්නේත්. එබැවින් සමානුපාතිකමය පදනමක් යටතේ පාර්ලිමේන්තුවට පැමිණෙන රනිල් වික්‍රමසිංහට ජනවරමක් නැතැයි පවසන්නේ කවර පදනමක් මතද?
 
02. රනිල් වික්‍රමසිංහ  කොළඹ දිස්ත්‍රික්කය සඳහා කිරීමේදී එක්සත් ජාතික පක්‍ෂය  විසින් ලබාගත් ජන්ද සංඛ්‍යාව 30,875 ක්. එහි  ප්‍රතිශයය 2.61% ක්. එබැවින් ඔහු සහ පක්‍ෂයේ ජන්ද ගණනයට ලක්කලේ නැහැ. එහෙත් සමස්ත ලංකාවෙන් ඔහු සහ ඔහුගේ පක්‍ෂය ලබාගත් ජන්ද සංඛ්‍යාව  249,435 ක් හෙවත් ප්‍රතිශතාත්මකව  2.15% ක්. එබැවින් ඔහුට පැහැදිලි අවකාශයක් තිබෙනවා පාර්ලිමේන්තුවට පැමිණීමට. 
 
03. තර්කයක් ලෙස මතුකරන්නේ නම් රනිල් වික්‍රමසිංහ සතුව පැහැදිලි ජනවරමක් තිබෙනවා පාර්ලිමේන්තුවට පැමිණීමට. ඔබ මොහොතක් සිතන්න අපේ ජනබලවේගය පක්‍ෂය (OPPP) ලබාගත් ජන්ද සංඛ්‍යාව 67,758 ක් පමණයි. එහි ප්‍රතිශතය 0.58% ක්. ඉතිං එක්සත් ජාතික පක්‍ෂය එහෙම බැලුවම බොහොම පැහැදිලි ජනවරමක් ලබල තිබෙනවා. මොකද ජන්ද ප්‍රතිශතයේ එතරම් පැහැදිළි වෙනසක් තිබියදීත් එක්සත් ජාතික පක්‍ෂය ලබා ඇත්තෙත් එක මන්ත්‍රී ධූරයක් පමණයි. නමුත් අඩු ජන්ද සංඛ්‍යාවක් ගත්ත  OPPP පවා එක්  මන්ත්‍රී ධූරයක් ලබාගත්ත.
 
04. මිට සමගාමීව පවත්නා එක් සාධනීය තර්කයක් තමයි රනිල් වික්‍රමසිංහ තමන් විසින්ම පාර්ලිමේන්තුවට පැමිණීමේ බලපත්‍රය ලියා ගැනීම. මේ ගැනනම් කියන්න තිබෙන්නේ එය එක්සත් ජාතික පක්‍ෂයට පමණක් ආවේනික ගැටළුවක් නොවන බවයි. අපේ සමස්ත පක්‍ෂ ක්‍රමය තුළම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිකොට පක්‍ෂයේ නියෝජිතයා ලෙස තමන්ම නම්කර ගැනීම අරුමැසි යමක් නොවෙයි. මීයක් කඩන්නේ අත ලෙව කන්න නොවේයැයි කියන්නේ ඒකටයි. අනෙක කෘත්‍යාධිකාරී මණ්ඩලේ ඉන්න නෝනා මහත්වරු 33 දෙනාට (?) ගැටළුවක් නැත්නම් රට්ටුන්ට මොන අවුලක්ද?
 
05. ජාතික ලැයිස්තුව ඔස්සේ පැමිණීම මඟින් නිර්මාණය වී ඇති අවුලත් මෙහිදී මතුකරන තවත් ප්‍රශ්ණයක්. ඔව්, එය අවුලක්. හැබැයි රනිල් වික්‍රමසිංහට පිළිතුරු නැහැ එයට. වසරක් එලෙස ජාතික ලැයිස්තුවට නියෝජිතයෙක් නම් නොකිරීම තුළ අවශ්‍යයෙන්ම සිදුවිය යුතු පාර්ලිමේන්තු නියෝජනය අහිමි වුණා. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීම වැනි අවස්ථාවල ජන්දභාවිතයේ අවස්ථා  අහිමි වුණා. එය රනිල් වික්‍රමසිංහ විසින් චේතනාන්විතව සිදුකල අනර්ථකාරී යමක්. එහෙත් එවැනි යමක් සඳහා ක්‍රියාකිරීමට අවැසි මැතිවරණ නීතියක් කොහේද තියෙන්නේ. ඔහු හෝ ඔහුගේ පක්‍ෂය ව්‍යවස්ථාව උල්ලංඝනය කොට නැහැ නේද? 
 
අනෙක අපෙන් කවුරු හරි දැම්ම දාන්න කියල එකම එක්සත් ජාතික පක්‍ෂ පාක්ෂිකයෙක් හෝ එකම උද්ඝෝෂණයක් වත් කරලා නැහැ නේද? අපිට කරන්න පුළුවන් එකම දෙයයි තියෙන්නේ. වැරදි පුර්වාදර්ශයක් දීම වෙනුවෙන් ඔහුට දොස් පරොස් කීම සහ දැන්වත් එහෙම කරන්න බැරිවෙන්න  මැතිවරණ නීතිය වෙනස් කිරීම.
 
06. ජනසම්මතවාදය පදනම් කරගන්නා දේශයක් නිර්මාණය කිරීම සඳහා යන ගමනේදී රනිල් වික්‍රමසිංහ සිදුකර ඇත්තේ සාතිශය අගතියක් යැයි කියන බොහෝ දෙනාත් ඉන්නව. ඔවුන්ට දෙන්න තියෙන උත්තරය තමයි ජනවරම යන්න මොහොතින් මොහොත වෙනස්වන යමක්. දැන් දැන් එය වසර 5 ක් දක්වා ඇදගෙන යන්න බැහැ වගේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත්  6,853,6938 ක්වූ විශාල ජන්ද ප්‍රමාණයටත් දැන් ජනවරමක් නැති බවයි පේන්නේ. අවශ්‍යනම් කාටහරි තර්ක කරන්න පුළුවන් එහි අනෙක් පැත්ත. එනම් කොළඹින් අඩු ජන්ද සංඛ්‍යාවක් ගත්තට රනිල් වික්‍රමසිංහට දැන් ටිකක් වැඩිපුර ජන්ද තිබෙනවා කියල. (මොකද මේ සංසිද්ධීන් දෙකම හරියට මැන බලන්න බැහැ අපිට). 
 
මේ නිසා අපි ඇත්තටම කල යුතු කාර්යයක් වන්නේ Right to Recall හෙවත් මහජන නියෝජිතයන් නැවත කැඳවීම වැනි විකල්පයකට යන එක. එබැවින් රනිල් වික්‍රමසිංහ හුදු ''පිං මන්ත්‍රී කෙනෙක්'' යැයි පැවසීම සමානුපාතික ජන්ද ක්‍රමයේ හරය බිඳ දැමීමක්. ඕකම ලංකාවේ සිදුවෙනවා පළාත් පාලන ආයතන වල ඉන්න කාන්තාවන් බහුතරයකට. අතිරේක ලැයිස්තුව යටතේ නම්කොට ඇති ඔවුන්ට සමහර පිරිමි අපහාස කරනවා තොපි පිනට ආව එවුන් කියල. හැබැයි එහෙම චෝදනා කරන පිරිමි පංචස්කන්ධ දන්නේ නැහැ සමස්ත ජන්ද ප්‍රමාණයේ ගණනය තුළ තම තම පක්‍ෂය වෙත ලැබෙන කොටස තමයි ඒ කියල. 
 
මේගැන තවත් නිදසුන් බොහෝ ලියන්න පුළුවන්. සරත් ෆොන්සේකාගේ පළමු පාර්ලිමේන්තු ආගමනය, දැන් එන්න හදන වජිර අබේවර්ධන මෙන්ම පැය 80 ක් හිටපු ධම්මික පෙරේරා ගැනත්. ඒ කෙසේ වෙතත්  වික්‍රමසිංහ ගැන පවත්නා විවේචන අතර ඔහුට ජනවරමක් නැතැයි පැවසීම මැතිවරණ ක්‍රමවේද හදාරන අයෙක් ලෙස මමනම් හිතන්නේ එතරම් සාධාරණ නැහැ.ඊට සමගාමිව දේශපාලන සදාචාරය හෝ හර පද්ධතීන් පිළිබඳ තර්කයක් ගොඩ නැගේනම් මම කැමතියි එවැනි තර්කයක් සමඟ එකට සිටගන්න.
 
මංජුල ගජනායක 
"රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ආගමනය" මැයෙන් ෆේස්බුක් ගිනුමේ තැබූ සටහනකි.