නොකළ වරදට සිරගත වූ ගණිකාව

නොකළ වරදට සිරගත වූ ගණිකාව

දිනය : 1966 පෙබරවාරි මස 07

ස්ථානය : රත්මලාන ශාන්ත රීටා පාරේ, ශාන්ත රීටා දේවස්ථානය.

පැමිණිල්ල : දේවස්ථාන භූමියේ ඇති ළිඳක වැටී රාම්දාස් ගෝඨාභය කිරඹකන්ද නැමති 11 හැවිරිදි පාසල් සිසුවා මිය ගොස් තිබීම.

මේ අනුව ක්‍රියාත්මක වන පොලීසිය මේ මියගිය දරුවාගේ අභිරහස් මියයෑම ගැන සොයා බලන්නට පටන් ගන්නවා. මුල දී දරුවා ලිඳට වැටී අහඹු සිදුවීමකින් මිය ගියා යැයි පොලීසිය නිගමනය කරත්, මෙය එහෙම අහම්ඹයක් නොවන බව පොලීසියට වැටහෙන්නේ මේ දරුවාගේ පවුලේ ඉතිහාසය ගැන ඔවුන්ට දැන ගැනීමට ලැබීමත් සමග යි.

ව්‍යාපාරිකයන් නිතර ගැවසෙන ගණිකා නිවාසය

රාම්දාස් ගෝඨාභය කිරඹකන්ද දරුවාගේ පියා වෙන්නේ ඒකාලේ නුගේගොඩ සිටි පොහොසත් මුදලාලි කෙනෙකු වූ එලියස් අප්පුහාමිගේ බාල පුතා වුණ දොන් බෝධිපාල කිරඹකන්ද යි. බෝධිපාල ඔහුගේ ව්‍යාපාරික සහයකයෙකු වූ මිතුරකුගේ අනියම් බිරිඳ වශයෙන් සිටි ජෙසී ප්‍රනාන්දු සමග රහසේ විවාහ වන අතර, ඔවුන්ට මේ විවාහයෙන් දියණියන් දෙදෙනෙක් සහ මේ මියගිය පිරිමි දරුවා බිහිවෙනවා. පසුව ඔවුන් දරුවන් සමග පදිංචි වෙන්නේ කුලියට ගත් දෙහිවල කවුඩාන පාරේ අංක 5 දරන නිවසේ යි.

පසුව විමර්ශනවලින් හෙළිවෙන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස් ප්‍රධානීන්, ව්‍යාපාරිකයන් නිතර ගැවසෙන තිප්පොළක් වූ ඔවුන්ගේ නිවස. ගණිකා නිවාසයක් ලෙස පවත්වාගෙන ගිය බවයි. නිවාසය නඩත්තු කිරීමට අමතර ව බෝධිපාලගේ බිරිඳ ජෙසී ද ගණිකාවකගේ භූමිකාව රඟ පෑ බව සඳහන්.

පෝලින් ඩි කෲස් නමැති තරුණිය

කොහොම නමුත් මේ දරුවාගේ මරණයේ ප්‍රධාන සැකකාරිය ලෙස පොලීසිය විසින් නම් කෙරූ පෝලින් ඩි කෲස් නමැති ළාබාල තරුණිය මේ කතාවට එක් වෙන්නේ මෙන්න මෙතැන් සිටයි..

කතෝලික භක්තික බර්ගර් පවුලක් උපන් පෝලින් අවුරුදු 17 තරුණියක්. නමුත් ඇය දැඩි කාමුක ආශාවලින් පෙළුන යුවතියක් වූවා සේම 1966 වසර වන විට ඇය ගණිකාවක් ලෙස ජීවත්වීමට පටන්ගෙන තිබුණා. ඒ වන විට තිදරු පියෙකු වූ බෝධිපාලට ළාබාල යුවතියක් වූ පෝලින් කෙරෙහි හිතක් පහල වෙනවා. අවසානයේ මේ කාරණා නිසා 1965 නොවැම්බර් මාසයේ දී ජෙසී විසින් බෝධිපාලට එරෙහි ව දික්කසාද නඩුවක් ද දමා තිබෙනවා.

පෝලින් මේ කාලයේ සිටියේ දෙහිවල සත්වෝද්‍යානය පිටුපස ගල්වල පාරේ නිවසක වන අතර, මේනිසා බෝධිපාල මේ නිවසට නිතර ආගිය අතර සමහර දාට ඔහු ඔහුගේ පුතා ගෝඨාභය කිරඹකන්දත් මේ ගෙදර එක්කන් ඇවිත් තියෙනවා. මේ නිසා ගෝඨාභය තාත්තාගේ මේ අනියම් බිරිඳ හොඳින් හඳුනනවා.

ගෝඨාභය ගේ මරණය වෙන 1965 පෙබරවාරි 07 දා ඔහුගේ පාසලට පෝලින් පැමිණ තිබෙන්නේ චිත්‍රපටයක් බැලීමට යැයි කියා ඔහු පාසලට යා නො දී ගාලූ පාර දෙසට කැඳවා ගෙන යන්නටයි. පසුව විවේක කාලයේ දී ඔහුව ඇය විසින් ආයෙත් පාසලට රැගෙන ආපු බව ඇසින් දුටු සාක්ෂිත් සමගිනුයි එදින ළිඳට වැටී මියගිය පෝලින්ව මේ නඩුවේ ප්‍රධාන සැකකාරිය බවට පත්වෙන්නේ.

මරණ දණ්ඩනයෙන් ජීවිතාන්තයට සහ නිදහස

බොහෝ සාක්ෂි අනුව ගෝඨාභය කිරඹකන්ද ඝාතනය කරේ පෝලින් බව ඔප්පු වූ නිසා අවසානයේ ඇයට මරණ දණ්ඩනය ලබා දෙන්න උසාවිය තීරණය කරනවා . ඒ වනවිට ඇය මානසික ආතතිය සඳහා බෙහෙත් ගනිමින් සිටි අතර සැකයේ අවාසිය ඇගේ මේ මානසික ආතතියත් එක හේතුවක් වී තිබෙනවා. නමුත් ඇය දිගින් දිගටම පවසා තිබුණේ ඇය එවැනි නපුරු දෙයක් නොකළ බවයි. පසුව ඇයට පක්ෂව ඇති සාක්ෂි සලකා බලා ඇගේ මරණ දඬුවම ලිහිල් කර 1969 වසරේ දී ඇයට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වෙනවා. ඒ වගේම 1980 වසරේ, ඇයගේ වයස අවුරුදු 35 දී ඇයවට නිදහස ලැබෙනවා. නිදහසින් පසුව කන්‍යාරාමයක නිහඬ දිවියක් ගතකළ ඇය අනතූව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ බව සඳහන්. ඉන් පසුවනම් ඇය ගැන කිසි තොරතුරක් ලැබෙන්නේ නෑ.

සත්‍ය කතාව ඇසුරෙන් සිනමා නිර්මාණයක්

දැන් මේ හා සමාන හුරුපුරුදු කතාවක් ඔයාගේ ඔළුවේ මේ වන විටත් මැවිලා ඇති. ඔව්, ප්‍රසන්න විතානගේ විසින් 1992 වසරේ අධ්‍යක්ෂණය කළ "සිසිල ගිනි ගනී" සිනමාපටයට පාදක වෙන්නේ මේ කතා පුවත ම තමයි. මෙහි තිර රචනය ලියන්නේ සනත් ගුණතිලක විසින්. සනත් මෙහි සත්‍ය කතාවේ කොටස් කිහිපයක් සිනමානුරූපීව වෙනස් කර තිබුණා. මේ කාරණය නිසා සත්‍ය සිදුවීම සහ චිත්‍රපටිය බොහෝ සිනමාරූපී වෙනස් කම් සහිතවයි නිර්මාණය වෙන්නේ.

චිත්‍රපටිය තේමා වෙන්නේ පෝලින්ගේ චරිතය රඟපාන සබීතා පෙරේරා වටායි. බොධිපාලගේ චරිතය සනත් රඟපාන අතර ඔහුගෙ බිරිඳ ලෙස රඟපාන්නේ වීනා ජයකොඩි යි .

මේ සිනමාපටය සබීතා පෙරේරාගේ රංගන දිවියේ එක් හැරවුම් ලක්ෂයක් කිව්වාට වරදක් නැහැ.…

(Mmp Ranaweera)

උපුටා ගත්තේ සිනෙමායා Entertainment face book පිටුවෙන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න