Language Switcher

V2025

අඩුවෙන් මරා වැඩියෙන් ආඩම්බර වීම

දිවයින’ පත්‍රයට නිතිපතා කවට ලිපි ලියන ආරක්ෂක ලියුම්කරු ඊයේ පෙරේදා වැදගත් හෙළිදරව්වක් කර තිබිණ. ඒ හෙළිදරව්වට අනුව, යුද්ධයෙන් මියගිය දෙමළ ජන සංඛ්‍යාව දැන් හරියටම සොයාගෙන තිබේ. පරිගණකය සොයාගැනීමෙන් පසු සිදුකරන ලද වැදගත්ම සොයාගැනීම සේ සැළකිය යුතු මේ සංඛ්‍යාව සොයාගෙන ඇත්තේ දැනට දෙපලු වී ඇති ‘ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ  එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛාව’ට අයත් සිංහල මෘදුකාංග ඉංජිනේරුවෙක් විසිනි. එසේ සොයාගත් සංඛ්‍යාව ඉකුත් 27වැනි ඉරිදා දිවයින වාර්තාවකට අනුව 6,000 – 7,000ත් අතර ගණනකි. නමුත් 30 වැනිදා වන විට එය 11,645කි.  මේ හදිසි සොයාගැනීම සඳහා හිටිහැටියේ විශ්වාසනීය මූලාශ්‍රයක් හමු වී තිබීම විස්මය දනවන සුළු ය. ඒ මූලාශ්‍රය,  ‘කොටින්ගේ ටැමිල් නෙට්’ වෙබ් අඩවියයි!

අභිනව සොයාගැනීමෙන් අමන්දානන්දයට පත් ‘දිවයින’ පත්‍රය 27 වැනිදා මෙසේ ලීවේය: “ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියේ තිබූ මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාවට අදාළ වාර්තාව එම වෙබ් අඩවියෙන් විගස ඉවත් කිරීමට ක්‍රියාකර තිබුණත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයට සම්බන්ධ මෘදුකාංග ඉංජිනේරුවකු විසින් එය සොයාගනු ලැබීය. මේ නිසා බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක ඇන්ටන් ගෑෂ්ගේ සහ ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියේ වාර්තාවෙන් මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව කොතෙක්‌දැයි තහවුරු වේ.....මේ අනුව නව වසරකට පසු වන්නි මෙහෙයුමේදී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව සොයා ගැනීමෙන් ගෝලීය ශ්‍රී ලංකා සංසදය රණවිරුවන් වෙත අද්විතීය සේවාවක්‌ සිදුකර ඇත."

මේ අද්විතීය සේවාවෙන් ඔප්පු කර ඇති ආකාරයට ජනවාරි මාසයේදී වන්නියේ දෛනිකව මරාදැමූ සංඛ්‍යාව 10කි. පෙබරවාරි මාසයේ 40කි. මාර්තුවේ 56කි. අප්‍රේල් මාසයේ දී 129කි. මැයි 18 වැනිදා අවි ගැටුම් අවසන් වූ බව සැළකිල්ලට ගතහොත්, මැයි මාසය තුළ දවසේ මරණ රේට්ටුව 245කි! ඒ අනුව, අවසන් යුද මෙහෙයුමේ අවසන් සති දෙක හමාරේ දී  දවසට 245 බැගින් දෙමළ වැසියන් මැරුණු බව හෙළිකිරීම නිසා අපේ නිර්දෝෂීභාවය ලෝකයාට දැන් ඔප්පු වී තිබේ.

මේ සංඛ්‍යා හරඹ ‘දිවයින’ පත්‍රයට වැදගත් වන්නේ මන්ද? ඊට නිධාන කතාවක් තිබේ.

යුද මෙහෙයුම් නිමාවන්නට සතියකට කලින් සම්පාදනය කරන ලද මුත් ප්‍රසිද්ධ නොකළ අභ්‍යන්තර වාර්තාවකට අනුව සිවිල් වැසියන් 7,721ක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන් විසින් ගණන් බලා තිබිණ.  නමුත් යුද්ධයේ අවසාන අධියරේදී අඩුම වශයෙන් සිවිල් වැසියන් 20,000ක් පමණ මියගොස් ඇති බව ලන්ඩන් ටෛම්ස් පත්‍රය විසින් වාර්තා කරන ලද්දේ 2009 මැයි 29 වැනිදා ය. එයින් අට මාසයක් ඇවෑමෙන්, 2010 පෙබරවාරි මාසයේ දී ඕස්ට්‍රේලියානු ගුවන් විදුලියට ප්‍රකාශයක් කළ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිතයා වූ ගෝඩ්න් වයිස් මේ සංඛ්‍යාව 40,000ක්තරම් විය හැකි බව කීය. 2010දී ආණ්ඩුව විසින් පත්කළ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම ඉහතින් කී සංඛ්‍යාවන් එක එල්ලේ පිළි නොගත්ත ද කිසිදු සිවිල් වැසියෙක් මිය නොගිය බවට ආණ්ඩුව මුලින් කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් “සැළකිය යුතු තරමේ සිවිල් වැසියන් සංඛ්‍යාවක් මියයන්නට ඇතැයි’ පිළිගත්තේය. කොමිසම හමුවේ සාක්‍ෂි දුන් මන්නාරම් රදගුරු රායප්පු ජෝසප් රජයේ ජනගහණ වාර්තා උපුටා දක්වමින් 146,679ක් ජනයාටකුමක් සිදු වී දැයි හෙළිකරන මෙන් රජයෙන් ඉල්ලා සිටි අතර කොමිසමේ අවසන් වාර්තාවට පිළිතුරු වශයෙන් දෙමළ ජාතික සන්ධානය නිකුත්කළ ප්‍රති-වාර්තාව විසින් අවම වශයෙන් 75,000ක් සිවිල් වැසියන් ආගිය අතක් නැතැයි පෙන්වා දුන්නේය. 2012 වසර අවසානයේ ප්‍රසිද්ධ කළ එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර විමර්ශන වාර්තාව විසින් 70,000කට වැඩි මරණ සිදුව ඇති බව සනාථ කරන ලද්දේ අනතුරුව ය.

‘අපි මැරුවේ 11,645කැයි’ දිවයින පත්‍රය කියා ඇත්තේ ඉහත කී සංඛ්‍යා ලේඛන බොරු කරන්නටය!  

සංඛ්‍යා ලේඛණ අනුව බලතොත් ‘දිවයින’ වාර්තාව විසින් අවසන් යුද්ධය ගැන විවාද කළ යුතු තරම් බැරෑරුම් යථාර්ථයක් හෙළි නොකරන බව ඇත්තකි. නමුත් අතීත අපරාධ ගැන දකුණේ බහුතර සිංහල ජනයාගේ සිතිවිලි රටාව පාලනය කරන්නා වූ වැදගත් ප්‍රවණතාවක් එමගින් හෙළිකරයි. එය පදනම්වන්නේ ඓතිහාසික සංශෝධනවාදය මත ය. ඉතිහාසය නිශේධනය කිරීම සඳහා ඉතිහාසය භාවිතා කළ හැක්කේ කෙසේදැයි එමගින් පෙන්වා දෙයි.

ඓතිහාසික සංශෝධනවාදය අඩුම වශයෙන් මූලික උපායයන් තුනක් මත පදනම් වේ. කිසිදු අපරාධයක් සිදු නොවූ බව එය පළමුව කියයි. කියන තරම් අපරාධ සිදු නොවූ බව දෙවනුව කියයි. වෙනත් රටවල් හා සැසඳූ විට සිදු වූ අපරාධ ගිණිය නොහැකි තරම් සුළු බව තෙවනුව කියයි. ඉතිහාසය සංශෝධනය කර ලිවීම ඉතිහාසය නිශේධනය කිරීමේ මාර්ගයක් වශයෙන් වැදගත්වන්නේ අපරාධ හවුල්කාරීත්වයේ සාමූහික ගර්හාවෙන් නිදහස් වීමට ගැළවුම් මාර්ගයක් එමගින් පාදාදෙන බැවිනි. 

අවසන් යුද්ධයෙන් එකදු සිවිල් වැසියෙකු හෝ නොමළ බවටත්, ඉරාකයේ හෝ ඇෆ්ගනිස්තානයේ මෙන් ජනයා ඝාතනය නොවුණු බවටත් වාද කරමින්, ‘ටැමිල් නෙට්’ වෙබ් අඩවිය කොටි චරපුරුෂයන් විසින් මෙහෙය වූ බවට විසි අවුරුද්දක් තිස්සේ චෝදනා කළ ‘දිවයින’ පත්‍රය, හිටිහැටියේ ඒ වෙබ් අඩවියම මූලාශ්‍රයක් කොටගෙන ‘අපි මැරුවේ 11,000යි’ කියන්නේ ඒ මග යමිනි. 1983 කළු ජූලියේදී දෙමළ නිවෙස්වලට පහර දුන් මැරයන් දෙමළ ජනයා විසින්ම මෙහෙය වූ බවට ලන්ඩන් සිංහල සංගමයේ ඩග්ලස් වික්‍රමරත්න 2008දී කළ බූකර් සම්මානයෙන් පිදිය යුතු හෙළිදරව්ව ද, යාපනය පුස්තකාලය 1981දී ගිනි තබන ලද්දේ කොටි සංවිධානය විසින් බවට මහාචාර්ය කාලෝ ෆොන්සේකා සිය පාසැල් මිත්‍ර පොලිස් නිලධාරියෙකුගේ පිහිටෙන් දෙතිස් වසකට පසු කළ සොයාගැනීම ද මේ කියන සංශෝධනවාදී ඉතිහාසකරණයේම ආන්තික විකෘතීන් ලෙස සැළකිය හැකි ය.

අඩුවෙන් මැරූ බව කී විට වැඩියෙන් ආඩම්බර විය හැකියැයි ‘දිවයින’ ලියුම්කරුවන් කල්පනා කරන්නේ අහම්බයකින් නොවේ. අප හඹාඑන අවමානයේ ඉතිහාසය වූකලී සමූල සංහාරක රාජ්‍ය අපරාධ අභිනන්දනය කරමින් ගෙවාදැමූ දශක හතරක් පැරණි එකකි. දේශානුරාගී වහසි බස් තැවරූ ස්වර්ණමය ප්‍රබන්ධයන්ගෙන් වසන් කර ඇත්තේ යුක්තිකාමී මිනිස් අභිලාෂයන්ගෙන් මෙළවුණු උතුරේ සහ දකුණේ පීඩිත ගම්බිම් සමූල සංහාරක දඩබිම් බවට පෙරළාගත් නින්දා සහගත කෘරත්වයයි. ඒ කෘරත්වය උතුරේදී අපගේ සාමූහික ජාතික රණකාමයේ තේජාන්විත ප්‍රතිබිම්බයක් වෙතැයි දකුණේ ඇතැම්හු තවමත් කල්පනා කරති. සමාජ යුක්තිය සහ මානව ගරුත්වය පිළිබඳ අපේ සිහින තවත් අඩ සිය වසක කාලයක් කල්පාන්ත අඳුරක ගිල්වා දමන්නේ ඒ පරපීඩක අධිපතිවාදය විසිනි.☐

(මෙම ලිපිය 2018 ජූනි 03 වැනිදා 'අනිද්දා' පත්‍රයේ මුල්වරට පළවිය.) 

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS