එක ම ආණ්ඩුවක මුදල් ඇමතිවරු දෙදෙනෙක්

 එක ම ආණ්ඩුවක මුදල් ඇමතිවරු දෙදෙනෙක්

දේශපාලනයේ කලක් එකට සිටි එහෙත් මතවාදීව ප්‍රබල ලෙස ගැටුණු දේශපාලනඥයන් දෙදෙනෙක්; ඔවුන් දෙදෙනාම මුදල් ඇමතිවරු ලෙස කටයුතු කර තිබෙනවා. ඒ අතරින් ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිවරයෙක් වශයෙන් විශිෂ්ට යි.

''සිරිස්'' සම්මානයෙන් පුද ලද සිරිමාවෝ අගමැතිනිය

 

picture 123 680x567
මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශිෂ්ටතම කාර්යභාරයක් කළ මුදල් ඇමතිවරයා ලෙස 1970/1975 කාලය තුළ න් ඔහු මුදල් අමාත්‍ය ධුරය දැරූ සමයේ ඔහුගේ කාර්යභාරය හඳුන්වන්න පුළුවන්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුතුව 1970 බිහිවුණු සමගි පෙරමුණු රජය යටතේ, දේශීය කෘෂි කර්මාන්තය සහ දේශීය කර්මාන්ත නගා සිටුවමින් ආර්ථිකය ශක්තිමත් කරමින් රට පාලනය කළ මුල් වසර පහ අවසාන වන විට විදෙස් ණයවලින් තොරව ආර්ථිකය අයවැය සමබර කිරීමට හැකි තරම් හොඳ තත්ත්වයක අප හිටියා. ලෝකය පුරා දරුණු ආහාර හිඟයක් දුර්භික්‍ෂයක් පැතිර ගිය 1973 වසරේ ශ්‍රී ලාංකික ජනතාව ඉන් මුදවා ගැනීමට රජයේ දේශීය කෘෂිකර්මාන්තය පිළිබඳ එකල පවත්වාගෙන ගිය ප්‍රතිපත්තිය බොහෝ දුරට හේතු වුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය World Food and Agriculture Oganisation සංවිධානය විසින් ඒ වෙනුවෙන් රී ලංකා අග්‍රාමාත්‍යවරිය ඔවුන් පිරිනමන ඉහළම සම්මානය වූ " සිරිස් " පදක්කමෙන් පුදනු ලැබුවේ එම සංවිධානයේ මහ ලේකම් ආචාර්ය එඩ්වර්ක් සවුමා පුද්ගලිකව ම ශ්‍රී ලංකාවට පැමිණයි.

සඟවා තිබු මුදල් එළියට ගත් උපක්‍රමය

එමෙන්ම මෙරට බොහෝ කර්මාන්ත ක්ෂේත්‍රවල විශාල පුනරුදයක් ඇතිවුණා. යකඩ, වානේ, පිඟන්, වීදුරු, ටයර්, පෙහෙකම්හල්, උදලු, බැටරි, බොහෝ ක්ෂේත්‍රවල කර්මාන්ත ඇති වුණා. ආනයන සීමා කරමින් මෙරට තුළ එම නිෂ්පාදන දිරිගැන්වීමට ලොකු උත්සාහයක් ගත්තා. එම උත්සාහය තාවකාලිකව මිනිසුන්ට කරදරයක් ලෙස පෙනුනත් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීමට හැකි වූවා නම් රටක් වශයෙන් වඩා යහපත් තත්ත්වයක් උදාකර ගැනීමට පැහැදිලි ඉඩකඩක් තිබුණා. එදා අප ඉන්දියාවට වඩා නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටියා. මුදල් අමාත්‍යවරයා වශයෙන් ආචාර්ය එන්.එම්. පෙරේරා ගෙන් ලැබුණු දායකත්වය අති විශාලයි. මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔහු ඉදිරිපත් කරන අයවැය දෙස මුළු රටම බලා සිටියා. සඟවාගෙන සිටින මුදල් එළියට ගැනීමට ඔහු එකල තිබුණු ලොකුම නෝට්ටුව වන රුපියල් සීයේ නෝට්ටුව අවලංගු කර නව නෝට්ටුවක් මුද්‍රණය කිරීම නිසා සඟවාගෙන තිබූ සල්ලි බොහෝ ප්‍රමාණයක් එළියට ආවා. වර්තමානයේත් රජයට අවශ්‍ය නම් විශාල මුදල් ප්‍රමාණයක් සොයාගත හැකි අවස්ථාවක් ක්‍රියාමාර්ගය අනුගමනය කළොත් කරන්න පුළුවන්. නමුත් පසුව මෙතෙක් කිසිම රජයක් එවැනි දෙයක් සිදු කර නැත.

ආචාර්ය එන්.එම් පෙරේරා යනු ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ආචාර්ය උපාධි දෙකක් තිබෙන ප්‍රාමාණික උගතෙකි. ඔහු විපක්ෂයේ සිටිය දී පවා ගැටලුකාරී අවස්ථාවලදී එවකට අගමැති ධුරය දැරූ ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයා පවා උපදෙස් ලබා ගෙන ඇත. එමෙන්ම අගමැතිවරයාගේ ඉල්ලීම අනුව එම ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට උපදෙස් දුන් මහත්මා දේශපාලනයේ මිනිසෙකි.


DR.N. M. Pereraආචාර්ය එන්.එම් පෙරේරා

මුදල් අමාත්‍ය ධුරය අත් හළ එන්. ඇම්.

ආචාර්ය එන්. එම්. පෙරේරා පාසල් වියේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු ආනන්ද කණ්ඩායමේ නායකත්වය දරා තිබෙනවා. එමෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය ද කලක් ඔහු විසින් දරනු ලැබුවා; ඒ ක්‍රිකට් තුළ සල්ලි රජ නොකළ යුගයක.

අවාසනාවකට මෙන් 1975න් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ලංකා සම සමාජ පක්ෂය අතර ඇතිවුණු යම් මත ගැටුම් තත්ත්වයක් නිසා ලංකා සම සමාජ පක්ෂයේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් රජයෙන් ඉවත් වුණා.

එම අර්බුදයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ ප්‍රබල ඇමතිවරයකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ද දායක වූ බවට එකල ප්‍රචාරයක් තිබුණා. යටියන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය එන් එම් පෙරේරා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත්වද්දී, 1972 ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ අගලවත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සම්පාදන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය දැරූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සහ පානදුර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවාහන අමාත්‍ය ධුරය දැරූ ලෙස්ලි ගුණවර්ධණත් සිය අමාත්‍ය ධුරවලින් ඉවත්ව ගියහ.

ලංගම ඉතිහාසයේ ස්වර්ණමය යුගය

 

01nBElM412lHihPx z p11 Politician
ඉන්පසුව මුදල් අමාත්‍ය ධුරයට පත් වූයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ය. ඔහු දක්ෂ දේශපාලනඥයෙක් වුව ද ආචාර්ය එන්.එම් .පෙරේරා ඇතුළු කණ්ඩායම රජයෙන් ඉවත් වීමෙන් සමගි පෙරමුණු රජයට වූ හානිය ඉතාමත්ම දරුණු එකකි. ඉන් ටික දිනකට පසු සමගි පෙරමුණු රජයේ අනෙක් පාර්ශය වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් සමග පෙරමුණු රජයෙන් ඉවත් වුණා. ඒ, නායක අකුරැස්ස පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර එස්.ඒ වික්‍රමසිංහ සහ මැද කොළඹ තුන්වෙනි පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය ධුරය දැරූ පීටර් කේනමන් ඇතුළු කණ්ඩායම ද සමගිනි. ලංකා සම සමාජ පක්ෂයේ අමාත්‍යවරුන් තිදෙනා සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අමාත්‍යවරයාත් අමාත්‍ය ධුර දැරූ අමාත්‍යංශ ඔවුන්ගේ කාලසීමාවල දී රටට අමතක නොවන මෙහෙයක් ඉටුකළහ. කුලී නිවැසියන්ට දීර්ඝ කාලයකට පසුව තම නිවාස අයිතිවීමේ නිවාස පනතක් පිටර් කේනමන් විසින් ගෙන එනු ලැබූ අතර ප්‍රවාහන අමාත්‍ය ලෙස්ලි ගුණවර්ධණගේ පාලන කාලය තුළ දී ලංගම සභාපති ධුරය දැරූ ලංකා සම සමාජ පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකුද වූ අනිල් මුණසිංහ ගේ පාලන කාලය ලංගම ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙනවා.

1972 ජනරජ ව්‍යවස්ථාවේ විශිෂ්ටත්වය

ලංකාව ඩොමිනියන් තත්ත්වයෙන් මිදී ස්වෛරී ජනරජයක් බවට පත්වූ 1972 ජනරජ ව්‍යවස්ථාව එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ, අමාත්‍ය ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ නිර්මාණයකි. 1978 ව්‍යවස්ථාව මේ වන විට විසි තුන් වතාවක් පමණ සංශෝධනය කර ඇතත්, 1972 කොල්වින් ආර් ද සිල්වා සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව 1978 ජේ ආර් යටතේ ගෙන ආ රට අර්බුද රැසකට මුහුණ දෙන ආණ්ඩු අවස්ථාව ගෙන එන තෙක්, එක් වතාවක්වත් සංශෝධනය කිරීමට සිදු නොවූයේ එහි පැවති විශිෂ්ටත්වය නිසා ය.


William Gopallawa and Sirimavo Bandaranayake
70 - 75 කාලය තුළ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනාය ගේ භූමිකාව

1977 වසරේ ජේ.ආර්.ජයවර්ධන ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ රජය ඉතිහාසයේ නොසිතූ විරූ මහා බලයක් ලබා ගත්තේ සමගි පෙරමුණ තුළ ඇතිවූ බෙදීම හේතුවෙන් සිදු වූ කඩා වැටීම පදනම් කර ගනිමිනි. ඒ සඳහා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක අතින් යම් වරදක් සිදු වුණා නම් එය ඉතිහාසයේ ඉතාමත් දරුණු වැරැද්දකි. මන්ද 70 - 75 ගමන තව වසර දහයක් පහළොවක් යන්නට පුළුවන් වුණා නම්, අද ඉන්දියාව ලැබූ ආර්ථික ජයග්‍රහණ ඊට කලින් අපට ලබාගන්නට තිබුණා. 1962 වසරේ රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත්‍රණයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ බේරා ගැනීම සඳහා විශිෂ්ට කාර්යභාරයක් ඉටුකළ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක: අවසාන මොහොතේ ලැබෙන තොරතුරු ක්ෂණිකව අධ්‍යනය කිරීමට කුමන්ත්‍රණයට සම්බන්ධ නිලධාරී පැය කිහිපයක් තුළ අත්අඩංගුව ගනිමින් තමන්ව ප්‍රශ්න කරමින් කටයුතු කරන ආකාරය පිළිබඳව ඉතිහාසයේ සටහන් වන්නේ ඉහළින්. 1971 කැරැල්ලෙන් පසුව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවීමේදී ද මූලිකත්වය ගත්තේ මොහු ය. 1970 මහ මැතිවරණයෙන් වැඩිම වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට පත්වූයේ ද ඔහු ය. ඒ, දොම්පේ ආසනයෙන් වැඩි ඡන්ද විසි දෙදහසකට වැඩි, වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනි. එවර ඔහුගේ නාමයෝජනා පත්‍රයේ එක් අත්සනක් තබා තිබුණේ මගේ මවගේ පුංචි අම්මා ය; එතුමිය පදිංචිව සිටියේ මල්වානේ ය.

අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව

ඔහු නීති ක්ෂේත්‍රයේ කෙතරම් කීර්තියක් අත් කරගෙන තිබුණා ද යන්නට හොඳම උදාහරණයක් නම්: 1971 කැරැල්ලෙන් පසුව ජවිපෙ නායක රෝහණ විජේවීර ඇතුළු කණ්ඩායම ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායක ගේ ප්‍රධානත්වයෙන් සිදුවුණු ක්‍රියාවලියකින් පසුව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවා ඒ යටතේ සිදුකරනු නඩු විභාගයෙන් පසුව සිරගත කෙරුණු ලැබීම ය. 1978 වසරේ ජේ.ආර්.ජයවර්ධන රජය විසින් ම එම සිරගත කරනු ලැබූ සියලු දෙනා නිදහස් කරන ලදී.


image a9dd22913f

සතුරාට එරෙහිව සතුරා සමග

ජනාධිපති කොමිසමක් මගින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් බණ්ඩාරනායක මැතිණිය ගේ, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ගේ සහ තවත් කීප දෙනෙකුගේත් ප්‍රජා අයිතිය ඉතාමත් අත්තනෝමතික ලෙස අහෝසි කර දමා තිබුණා. 1982 වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉතාමත් දූෂිත ජනමත විචාරණයක් මගින් ජයවර්ධනගේ පාලනය විසින් වළක්වනු ලැබුවා. එම ජනමත විචාරණය දූෂිත සහ නීති විරෝධී එකක් ලෙස නියම කරන මෙන් ඉල්ලමින් රෝහණ විජේවීර නීති මගට පිවිසුණා. ඔහු, ඔහු ගේ නඩුව වෙනුවෙන් තෝරා ගත් නීතිඥයා වූයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකයි. අතීතයේ තමාගේ ප්‍රබල විරුද්ධවාදියකු වුවත් මෙම නඩු කටයුත්ත සඳහා වඩා සුදුස්සා ලෙස විජේවීර විසින් ෆීලික්ස්ව විශ්වාස කළේ ය. 1983 ජූලි කලබල සමග රජය ඉතාමත් අසාධාරණ ලෙස ජනතා විමුක්ති පෙරමුණත් ලංකා සම සමාජ පක්ෂයත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත්, නව ලංකා සම සමාජ පක්ෂයත්, තහනම් කිරීම නිසා ඉන් අනතුරුව ප්‍රසිද්ධ දේශපාලනයෙන් විජේවීර ඉවත් වී යාමත් සමගම එම නඩුව ද ඉදිරියට පවත්වාගෙ යැම වැළකුණි.

මේ මිනිසුන් සතු පෞර්ෂය සහ උගත්කම නිසා ලෝකයේ ඕනෑම තැනක, ගෞරවනීය පිළිගැනීමකින් යුතුව ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ හැකියාවක් තිබූ බව අවිවාදිතව පක්ෂ විපක්ෂ සියලු දෙනා පිළිගන්නා සත්‍ය කරුණකි.



(සටහන - ලාල් ද අල්විස්)

උපුටා ගත්තේ Lal de Alwis ගේ face book පිටුවෙන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න