මා මිතු ජැකා ගේ මේ වියමන සැලකිය යුත්තකි - සිරිමල් විජේසිංහ
නවගත්තේගම සංස්කෘතිය - ජැක්සන් ඇන්තනී
සංස්කෘතිය යන සංකල්පයේ තේරුම කුමක් ද? අද අප එය භාවිතා කරන නිරුක්තිය නිවැරදි ද? "සංස්කෘතිය යනූ ආචිණ කල්පික මතවාද ගොන්නක්ය" යනූ අද අප එය තේරුම් ගන්නා සරල අර්ථයයි. නමුත් සංස්කෘතිකරණයේ නිවැරදි විද්‍යාත්මක කියවීම ඊට ඉඳුරාම වෙනස් දෙයකි. "සංස්කෘති" යන වචනය සංස්කෘත භාෂාවෙන් ගත් වචනයකි. එහි ශබ්දකෝෂ අර්ථය ගතහොත් සමහරවිට අප පුදුමයට පත්වනූ නොඅනූමාන ය. සංස්කෘත සිංහල ශබ්දකෝෂයේ ඊට දී ඇති තේරුම වන්නේ "සීසා අස්වද්දන ලද" යන අර්ථය යි. මේ වාගාලාපයේ අන්තර්ගත වන්නේ කවර නම් සී සෑමක් ගැන ද? කවර නම් අස්වැද්දුමක් ගැන ද?
සංස්කෘතිය යනු කුමක් ද...?

ඉංග්‍රීසි භාෂාවේ "Culture" යන වචනයට දී ඇති සිංහල තේරුමෙහි ද "වැවිලිකර දියූණූ කිරීම" යන තේරුම ඇත. එසේ නම් සංස්කෘතිය යනූ කෘෂිකර්මය හා සම්බන්ධ සංකල්පයක් යැයි අප වරද්දාගත යුතු ද? නැත. සංස්කෘතිය යනු ශිෂ්ටාචාර ය සීසා අස්වැද්දීම යි. මානව සම්භවය තුළ මිනිසා ශිෂ්ටාචාරයේ පුරන් කුඹුර පෙරළා, පොහොර යෙදා, සීසා, අස්වැද්දුවේ ය. ඒ ක්‍රියාවලිය අප සංස්කෘතිය යන සංක්ලපයෙන් හඳුනා ගනිමු. එසේ නම් සංස්කෘතිය විසින් මිනිසා තැනෙයි ද, මිනිසා විසින් සංස්කෘතිය තැනෙයි ද යන ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙනු ඇත.
නවගත්තේගම සාහිත්‍යයේ ප්‍රභූත්වය සොයාගැනීමට නම්...
සයිමන් නවගත්තේගම සංස්කෘතිය යන සංකල්පයේ ආචිණ කල්පිතව තේරුම් ගත්තෙක් නොවෙයි. ඔහු ශිෂ්ටාචාරය කියවන්නේ අතිශයින්ම නූතන සහ විද්‍යාත්මක තේරුම් ගැනීමකින් යුක්තවයි. නවගත්තේගම ගේ සිතුවිලි පරම්පරාව ශිෂ්ටාචාර සම්පන්න ය. පුරන් කෙත පෙරලා, පොහොර යොදා, සීසා අස්වැද්දු සංස්කෘතියේ සරු අස්වැන්න නවගත්තේගම ගේ සිතුවිලි පරම්පරාව ප්‍රභූ පරම්පරාවක් බවට පත් කර ඇත. එහෙයින් නවගත්තේගම ගේ සංකල්ප ප්‍රභූ සංකල්ප වෙයි. නවගත්තේගම ගේ සාහිත්‍යය ද අප හඳුනාගත යූත්තේ ප්‍රභූ සාහිත්‍යයක් ලෙසයි. නවගත්තේගම සාහිත්‍යයේ ප්‍රභූත්වය සොයාගැනීමට අප ඔහූගේ සිතුවිලි පරම්පරාව ඉව කළ යූතුවේ.

ශ්‍රී ලාංකික අනන්‍යතාවේ ඇඟිලි සලකුණ
රටක අනන්‍යතාව විද්‍යාත්මකව තේරුම් ගන්නේ එරටේ චින්තන පරිපථය විග්‍රහ කර බැලීමෙනි. එය අප සිතුවිලි පරම්පරාව සේ නම් කරමු. රටක අනන්‍යතාවයේ ඇඟිලි සලකුණ වන්නේ එරටේ භාෂාව යි. භාෂාව යනු අනාදිමත් සිතුවිලි පරම්පරාවේ වර්තමාන ප්‍රකාශකයා ය. භාෂාව යනු: සීසා, අස්වද්දන ලද සරු ඵලදාවයි. භාෂාව: රළු වන්නේ ද, සිථිල වන්නේ ද, කර්කෂ වන්නේ ද, මිහිරි වන්නේ ද, සංකීර්ණ වන්නේ ද, සරල වන්නේ ද, නොගැඹූරු වන්නේ ද, ගැඹූරු වන්නේ ද එහි අස්වැද්දුමේ බල මහිමයෙනි.
ශ්‍රී ලාංකික අනන්‍යතාවේ ඇඟිලි සලකුණ සිංහල භාෂාව යි. සිංහල භාෂාව යනූ අනාදිමත් කාලයක් මෙරට ජීවත්වූ මානව ප්‍රජාවගේ සිතිවිලි ධාරාවේ ප්‍රකාශනය යි. සිංහල භාෂාව සමස්ත මානව යූග හරහා ඒ ඒ යූගවල දී ඒ ඒ ස්වරූපයෙන් පෙනී සිට ඇත. මේ කෙතේ අස්වැන්න සරු වූ කාල සහ නිසරු වූ කාල අපට මැන ගත හැක්කේ සංස්කෘති ක්‍රියාවලියේ ප්‍රකාශකයා වූ භාෂාවේ ස්වරූපය ඒ ඒ කාල වකවානූ ඔස්සේ විග්‍රහ කර බැලීමෙනි.
අපේ රටේ ඉතිහාසයේ යුග බෙදන ක්‍රමවේදය රාජධානිගත භුගෝලීය කලාප හරහා නම් වෙයි. ඊට අනුව: අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණි ආදි වංශයෙන් පෙනෙන්නේ රජූ සහ රාජධානියේ පිහිරීමයි. භාෂාව ද මේ යුග සමග බැඳි යුගයන්හි තිබූ සංස්කෘතික අනන්‍යතාව පෙන්නුම් කරමින් වැඩී අවුත් ඇත. එහෙත් භාෂාවේ හැඩය, ආකෘතිය ඒ ඒ යූග අනුව වෙනස් වුව ද නොබිඳී ගොඩනැගෙන, ඒක රේඛීය හුයක් ඇත්තේ ය. එය සංකල්ප ධාරාවකි. සිතුවිලි රටා ක්‍රමයකි. සංස්කෘතිය නමැති ක්‍රියාවලියෙන් උපදින ආකල්ප සමූදාය හැම යූගයක් හරහා ම අපෝහකව වැඩී අවූත් ඇත. මේ කොදෙව්වේ මිනිසූන්ගේ සිතුවිලි සමූදාය ආකල්පගත වී භාෂාව නමැති ප්‍රකාශනයෙන් දීප්ත වී සියලු යුග හරහා ප්‍රමූදිතව පැහැදිලිව පෙනෙන්නට පටන් ගනී.
සයිමන් ගේ භාෂාවේ හැඩය
20 වන සියවසේ අග භාගයේ දී අපට සයිමන් නවගත්තේගම කෙනෙක් පෙනෙන්නට පටන්ගනී. නවගත්තේගම යනු සීසා, අස්වැද්දූ සංස්කෘතික ක්‍රියාවලියේ අනිවාර්ය වර්තමාන අස්වැන්න යි. ඔහූගේ භාෂාව යනූ යූගයෙන් යූගය පිමි දමමින් වැඩී ආ අනිවාර්ය භාෂාවේ වර්තමාන ප්‍රවණතාවයි. එය කොදෙව් මානසිකත්වයෙන් මිදුණු ජාත්‍යන්තරීකරණය උරාගත් නූතන ප්‍රභූ භාෂාව යි. සයිමන්ගේ ප්‍රභූ භාෂාව වනාහි ශතවර්ෂාධික කාලයක් පුරා මෙරට ගොඩනැගුණු සිතුවිලි පරම්පරාවේ සාරය සහිතව දීප්ත වන වර්තමාන දියූණූ ලෝකය ග්‍රහණය කරගන්නා භාෂාවයි.
සයිමන් නවගත්තේගම මේ කුඹූරට බසින්නේ නාට්‍යකරුවකු ලෙසිනි. එහෙයින් ඔහූගේ සාහිත්‍යයේ නාටකීය ගුණාංග ගණනාවක් අන්තර්ගත වෙයි. ආතතිය, ඝට්ඨණය, පරාත්වාරෝපණය ආදී දියූණූ බටහිර නාට්‍ය රීති මෙන්ම විභාවනූභාවය. සමාරෝපය, සාමාන්‍ය ගුණායෝගය, ප්‍රලය ආදී රස සිද්ධාන්ත හරහා ද සයිමන් ගේ සාහිත්‍යයේ ආකල්ප වර්ධනය සිදු වී ඇත. මේ ප්‍රභූ මහා සම්ප්‍රදායට සයිමන් කිසිදා පැකිළීමකින් තොරව චූල සම්ප්‍රදාය මුසු කර ගනී. සයිමන් නවගත්තේගම චූල සම්ප්‍රදාය භාවිතා කරන්නේ ජනශ්‍රැති විද්‍යාඥයකු ලෙසිනි. ලාංකීය භූමි සම්ප්‍රදායේ ෆැන්ටසිවල ඇති ගැඹූරු සංකල්ප සයිමන් ප්‍රොයිඩියානූ චින්තකයකු ලෙස තම ප්‍රභූ සාහිත්‍යයට උරා ගනී.

අපේ සාහිත්‍යයේ ගමන් මග
සමස්ත පෙරදිග සාහිත්‍යය ම හැඳින්විය හැක්කේ ෆැන්ටසි සාහිත්‍යයක් ලෙසිනි. ලාංකීය සාහිත්‍යයේ සහජාත පරම්පරා උරුමය ද ෆැන්ටසියකි. අපේ ෆැන්ටසියට අඩූ වැඩි වශයෙන් වේද සදනිත්‍යයික බලපෑම් එල්ල වී තිබූණි. සියබස්ලංකාර පැනවූ නීතිරීතිවලින් වේද ෆැන්ටසියට බෞද්ධ හැඩයක් නිර්දේශ කළේය. එතැන් සිට ලාංකේය නිර්මාණ ස්මග්තිය බූදු දහමෙන් පෝෂණය ලබන්නට විය. සසදා මූව දෙව්දාවලින් ආරම්භ වී කව්සිළුමිණෙන් පරිපාකයට පත් වූ ලාංකීය ප්‍රභූ සාහිත්‍යය ජාතක පොතෙන් ජනතාකරණය විය. බූත්සරණෙන්, අමාවතුරෙන් සහ සද්ධර්මරත්නාවලියෙන් අපේ ප්‍රභූ සාහිත්‍යය ජනකාන්ත ලක්ෂණ භජනය කළේ ය. වෙස්සන්තෙරෙන්, යසෝදරාවතෙන් පරිපාකයට පත්වූ ජන සාහිත්‍ය ධාරාව ද වේ. ප්‍රභූ සාහිත්‍යයට සමාන්තරව ගලා ආවේ ය.

ශ්‍රී ලාංකීය ප්‍රභූ සාහිත්‍යයේ සිව්වෙනි ධාරාව
මාතර දී අබලන් වී කොළඹ දී අභාවප්‍රාප්ත වූ අපේ ප්‍රභූ සාහිත්‍යය විමර්ශනයට භාජනය වන්නේ 20වන ශත වර්ෂයේ මූල් භාගයේ දී ය. මේ කාර්තුවේ දී මේ රටේ සිතුවිලි පරම්පරාවට ජාතික චින්තනය එන්නත් වී තිබූණි. එහෙයින් නිර්මාණ චින්තනය බංකොලොත් වී තිබූණි.
20වන සියවසේ දෙවෙනි භාගයෙන් මෙපිටට යළිත් පණ නගන ලාංකීය ප්‍රභූ සාහිත්‍ය ධාරා තුනකින් ගලා ආවේය. ඒ ධාරා ත්‍රිත්වය භාෂාත්මකව අල්ලා ගන්නා මහාචාර්ය ජේ. බී. දිසානායක එය හඳුන්වන්නේ: මාර්ටින් වික්‍රමසිංහ ධාරාව, මූනිදාස කුමාරතුංග ධාරාව සහ එදිරිවීර සරච්චන්ද්‍ර ධාරාව ලෙසිනි. මේ ප්‍රභූ භාෂා ත්‍රිත්වයට 20 වැනි සියවසේ අග භාගයේ දී සිවුවන ධාරාව ද එක් වන බව අපි යෝජනා කරමූ. එය සයිමන් නවගත්තේම ධාරාව ලෙස නම් විය යුතුයි.
නවගත්තේගමගේ භාෂාව සහ සංකල්ප පෙර ධාරා ත්‍රිත්වයටම වඩා වෙනස්ය. ඔහූ මේ රට අනාදිමත් සිතුවිලි පරම්පරාව ජනශ්‍රැති විද්‍යාත්මකවත්, වේද සාහිත්‍යයිකවත්, ප්‍රභූ සිංහල භාෂාත්මකවත් වින්දනය කොට ඇත.
මේ වින්දනය ඔහූ ඉදිරිපත් කරන්නේ ද අපට උරුම ෆැන්ටසි සාහිත්‍යය ඇසූරිණි. එහෙයින් ශ්‍රී ලාංකීය ප්‍රභූ සාහිත්‍යයේ සිව්වෙනි ධාරාව වූ ෆැන්ටසි සාහිත්‍ය ධාරාව සයිමන් නවගත්තේගම ඇසූරින් විග්‍රහ කළ යූතුව ඇත. එය මේ රටේ සාහිත්‍ය විමර්ශකයන් සහ භාෂා විද්‍යාර්ථීන් අත පර්යේෂණ කෙරෙන ප්‍රභූ මූලාශ්‍රයක් වේවා...!
ජැක්සන් ඇන්තනී
- දිවයින, 2005/09/04
උපුටා ගත්තේ Sirimal Wijesingheගේ face book පිටුවෙන්

