ගුවන් විදුලියට සියවසකි. මට හැට වසකි. මගේ මාධ්‍ය ලෝකයට පනස් වසකි. ඒ, 1975 ය. මා ගෝනුහද්දෙනාවේ සිට කොළඹ ආනන්දයට ඇතුළත් වූයේ එම අවුරුද්දේ මාර්තු මස විසිවෙනි දා ය. ඒ, හයේ පන්තියට ය.
යසන්ත කෝදාගොඩ නම් මිත්‍රයා
ගෝනුහද්දෙනාව යනු අනුරාධපුරයේ සිට කැබිතිගොල්ලෑවේ හන්දියෙන් ත්‍රිකුණාමලය පාරේ සැතපුම් තුනක් ගොස් හමුවන හන්දියෙන් හැරී තවත් සැතපුම් හතරක දී හමුවන ගම්මානයකි. මේ ගමේ සිට කොළඹ ආ මට පාසලේ දී හොඳ මිතුරන් රැසක් හමුවිය. මේ අතරින් යසන්ත වඩාත් සමීපවූ කාරණා කිහිපයක් ම විය. එකක් හද්දා ගොඩයෙකු වූ මා පාසලට ඇතුළත් කළ විට පන්තියට රැගෙන ගියේ යසන්ත ය. එය මතක සිටින ආදරණීය පිළිගැනීමකි. අප දෙදෙනා ම පාසල් එන්නට බස් රථයට ගොඩවුණේ එකම බස් නැවතුම්පොළකිනි. ඊළඟ මාසයේ දී එනම් මැයි මාසයේ පාසලේ භක්ති ගීත කණ්ඩායමේ අපි දෙදෙනා ම සාමාජිකයන් වීමු. නොවැම්බර් මාසයේ දවසක යසන්ත මට ආරාධනාවක් කළේ ගුවන් විදුලි වැඩ සටහනකට ය. වැඩ සටහන ළමා පිටියේ යන එකකි. ළමා චාරිකා ය. මෙහෙයවූයේ යසන්ත ගේ කීර්තිමත් පියාණන් වූ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ය.

ලියුමක් තැපෑලෙන් ගෙදරට ගිය විදිය ගුවන් විදුලියෙන්
මිත්‍ර ආරාධනයෙන් මම යසන්ත සමග ගුවන් විදුලි වැඩ සටහනට හාපුරා කියා සහභාගි වීමි. මහාචාර්ය කෝදාගොඩ පටිගත කරන යන්ත්‍රයක් තෙමේ ම රැගෙන පැමිණ තිබිණ. මා එහෙම එකක් මුල්වරට දැක්කේ එදා ය. වැඩ සටහන පටිගත කරන ලද්දේ කොළඹ තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ සිට ය. ඒ අනුව ම විසින් අපේ තාත්තාට ලියන ලද ලිපියක් තැපැල් කණුවේ සිට තැපැල් හුවමාරුවට ගොස් එතැන් පටන් නිවසට යන අන්දම එහි අපූරුවට විග්‍රහ කෙරිණ. රූපයෙන් නොපෙන්වුව ද ලිපියක් යවන තැනැත්තා ගේ සිට ලබන තැනැත්තා දක්වා සිදුවන සම්පූර්ණ ක්‍රියාවලිය එම වැඩ සටහනින් අපූරුවට විග්‍රහ කෙරිණ. වැඩ සටහනේ හැටියට ලියුම ලියන්නේ මාය. ලියන්නේ තාත්තාටය. කොළඹ සිට ලියන ලියුම ගමට ගිය හැටි එහි පැවසිණ. ලියුම් තෝරන හැටි වෙන් කරන හැටි මේ ඔක්කොම අපූරුය. ඒ ඒ තැන්වල සිටින සේවක මහත්වරු තම තම කාර්යය දිගටම විස්තර කළහ.
තැපෑලට දැමුවේ මගේ ලියුමක් බැවින් වැඩ සටහනේ දී මගේ නමත් අපේ තාත්තා ගේ නමත් පමණක් නොව ඒ වන විට සිතියමේවත් නොවුණු අපේ ගමේ නම ද වැඩ සටහනට ඇතුළත් විණ.

මගේ මාධ්‍ය ජීවිතයේ ඇරඹුම
ඊළඟට එළැඹියේ දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩු සමය යි. මා නිවාඩුවට ගමට ගිය පසු දෙැසම්බර් 13වන දා සවස ගුවන් විදුලියේ ළමා පිටියෙන් වැඩ සටහන අපේ ගෙදර ගුවන් විදුලියට පැමිණියේ ය. අම්මාත් තාත්තාත් මාත් වැඩ සටහන ඇසීමු. වැඩ සටහන නිෂ්පාදනය කළේ ගාමිණී අබේතිස්ස ය. ගමේ නෑයින් කිහිප දෙනෙකුට පුතා ඉන්නා වැඩ සටහනක් ගැන අම්මා පවසා තිබුණ බැවින් ඔවුන් ද එය අසන්නට ඇත. කොහොම උනත් මගේ නමත්, අපේ තාත්තා ගේ නමත් ගමේ නමත් මුල්වරට ගුවන් විදුලියෙන් පමණක් නොව ජනමාධ්‍යයක් ඔස්සේ රට ට මුල්වරට කියන්නට ඇත්තේ එදා ය. පසුකලෙක වෘත්තිය මාධ්‍යවේදියෙක් ලෙස වෘත්තියට පිවිසිමේ අභිලාෂයක් නොවුව ද මුලින්ම මා මාධ්‍ය ලෝකයට පිවිසියේ ද එදා ය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශිය සේවයේ ළමා පිටිය ඔස්සේ මාසයකට වරක් විකාශය වූ ළමා චාරිකා වැඩ සටහනින් ය.

වසර ගණනාවකට පසු දැන ගත් අපූරු කරුණ
1977 මැතිවරණයෙන් පසු ගාමිණි අබේතිස්ස විදෙස් ගත වූ අතර වැඩ සටහන නතර විය. එතෙක් හැම වැඩ සටහනකට ම මහාචාර්ය නන්දදාස කෝදාගොඩ පුත් යසන්ත මෙන්ම මා ද රැගෙන ගියේ ය. මගේ මුල්ම වැඩ සටහන විකාශය වූ දවසේ එය අලකාර කරන්නට ගීතයක් ද ඇතුළත ව තිබිණ. ගීතය 'තැපැල් පියුම් මාමේ මට ලියුම් ගොඩක් ඔනේ' නම් ගීතය යි.
තවත් වසර ගණනාවකට පසු දැන ගත් අපූරු කරුණක් වූයේ වැඩ සටහන හැඩ කරන්නට යොදා ගත් ගීතය ගයා තිබුණේ පසුකලෙක මා සිනමා පුවත්පත් ලෝකය් මට නිර්ලෝභිව අත් දුන් ඒ.ඩී.රංජිත් කුමාර ගේ දයාබර භාර්යාව දමයන්ති ජයසූරිය බව යි.

ගීතය රචනා කර තිබුණේ සරසවිය පුවත්පතින් මාධ්‍ය ලෝකයට පිවිස පසුව නීතිඥවරයකු වී ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂධුරය ද දුරූ චන්ද්‍රසිරි සෙනෙවිරත්න ය. ආයතනයට පැමිණි පසු දැන ගත්තේ ඔහු මගේ ඥාතියකු බව ය. රටේ ගුවන් විදුලියට අවුරුදු සීයය කි. මාත් මාධ්‍ය ලෝකයට ඔළුව දමා අවුරුදු පනහක් ගත වී ඇතැයි සිහිපත් වුණේ ඒ ගැන හිතනකොට ම ය. බැලුවාම ඒත් ගුවන් විදුලියෙන් ම ය.
අරුණ ගුණරත්න
උපුටා ගත්තේ Aruna Gunarathnaගේ face book පිටුවෙන්.

