Language Switcher

V2025

කාන්තාවන්ට උඩුකය නිරුවතින් පිහිනීමට අවසර

උඩු කය නිරුවත්ව පොදු පිහිනුම් තටාකවල පිහිනීම සඳහා පැවති තහනම ඉවත් කිරීමට පක්ෂව ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරය ආසන්නයේ පිහිටි ගම්මානයක කාන්තාවන් සිය ඡන්දය ලබා දී තිබේ.

L'Ametlla del Vallès ගම්මානයේ කාන්තාවන්ගෙන් 61% ක් උඩුකය නිරුවත්ව පිහිනීම සඳහා පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර, එයට විරුද්ධ වී ඇත්තේ 39%ක් පමණි.

කැටලන් ප්‍රාදේශීය බලමණ්ඩලය විසින් මෙම ඡන්දය සංවිධානය කරනු ලැබ ඇත. කාන්තාවන් 379 දෙනෙක් එහිදී ඡන්දය භාවිත කළහ.

ඡන්ද ප්‍රතිඵලය අනුව වෙනස් වන නීතිය වයස අවුරුදු 16 සහ එයට වැඩි කාන්තාවන් සඳහා බලපැවැත්වේ.

පසුගිය ගිම්හාන සමයේ පිහිනුම් තටාකයක් අසලට පැමිණි පොලිස් භටයන් පිරිසක් උඩුකය නිරාවරණය කර පිහිනමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට නැවත ඔවුන්ගේ නාන ඇඳුම් ඇඟලා ගන්නා මෙන් නියෝග කිරීමේ සිද්ධියක් මුල් කොටගෙන අදාළ නීති වෙනස් කිරීම සඳහා ඡන්දයක් පවත්වන මෙන් කාන්තාවෝ ඉල්ලා සිටියහ.

නාන තටාකයේ සිටි උඩුකය නිරුවත් කාන්තාවන් ගැන පොලිසියට දන්වා ඇත්තේ ජීවිතාරක්ෂක නිලධාරියෙකු විසිනි.

මෙම සිද්ධියෙන් පසු කාන්තාවන්ට සහාය පළ කරමින් විරෝධතාවක් පැවැත්වීමට ගම්වැසියන් කටයුතු කර තිබේ.

බාර්සිලෝනා නගරයට කිලෝමීටර් 35ක් දුරින් පිහිටි මෙම ගම්මානයේ 8000ක පමණ පිරිසක් වාසය කරති.