ඉහත සඳහන් සංස්කෘත කාව්‍ය පාඨය අයත් වන්නේ හත්වන සියවස අගභාගයේ දී ඉන්දියාවෙි විසු සංස්කෘත කාව්‍යංලංකාරවාදියකු වූ දණ්ඩී නම් කවියා ලියු "කාව්‍යාදර්ශය" නම් කෘතියට ය.
එම පාඨයේ සිංහල අර්ථය "සරස්වතිය මා මනසේ යෙහෙන් දිගුකල් වැඹේවා ! යනුවෙන් ගත හැකි ය.
මනසේ සරස්වතිය වැඩ සිටින්නේ කලා සාහිත්‍ය සෞන්දර්යයෙහි නිපුණයින් ගේ ය. පැල්මඩුල්ල පාතකඩ විහාරයේ වැඩ විසූ සුප්‍රකට හේන්පිටගෙදර ඤාණසීහ හිමි එසේ සරස්වතිය මනසෙහි රංජනය වූ ප්‍රසිද්ධ හිමි නමකි. තම සාහිත්‍ය කාමී මනසේ විසල් බව විදහා පෙන් වූ උන්වහන්සේ, අනුරාධපුර යුගයේ ලියැවුණ පැරණි සිංහල පොතක් වන 'සියබස්ලකර සඳහා අර්ථ විවරණයක් 1964 දී ලියා පළ කළහ.
සියබස්ලකර යනු ඉහත කී දණ්ඩීන් විසින් සංස්කෘත භාෂාවෙන් ලියන ලද කාව්‍යාදර්ශය කෘතිය සිංහලයට පරිවර්තනය කරමින් අනුරාධපුරයේ රජ කළ හතරවන සේන (ක්‍රි.ව. 954-956) රජතුමා විසින් ලියන ලද කෘතියකි.
හේන්පිටගෙදර ඤාණසීහ හිමි
මෙය සිංහලයේ කාව්‍ය සම්ප්‍රදාය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කළ කෘතියකි.
මේ පැරණි පොත, පන්සල් පුස්කොළ පොත්ගුල් අතර සැඟව තිබිය දී නැවත මතු වූයේ 18 වන සියවස අගභාගයේ දී ය. රත්මලානේ ධර්මාරාම හිමි එයට පළමුවෙන් ම අර්ථ විවරණයක් සැපයූහ. ඉන්පසු විද්වතුන් ගණනාවක ගේ අවධානය මේ කෘතිය කෙරෙහි යොමු විය. සියබස්ලකර අර්ථ විවරණය කිරීමට සිංහල භාෂාව මෙන්ම සංස්කෘත භාෂාව පිළිබඳව ද ප්‍රාමාණික දැණුමක් තිබිය යුතුය. ඤාණසීහ හිමි එම කටයුත්තට එළඹියේ උන්වහන්සේ සිංහල පාලි සංස්කෘති භාෂා විශාරදයකු වූ බැවිනි.
උන්වහන්සේ සියබස්ලකර අර්ථ විවරණය කළේ මුල් කාව්‍යාදර්ශ පොතේ එන සංස්කෘත කවි සමග අනුරාධපුර යුගයේ සිංහල භාෂාවෙන් ලියවී ඇති සිංහල කවි සසඳමිනි. මේ අර්ථ විවරණයට උන්වහන්සේ දීර්ඝ ප්‍රස්ථාවනාවක් ද ඉදිරිපත් කළහ.
මේ සංස්කරණය ඉදිරිපත් කර වැඩිකල් යන්නට මත්තෙන් උන්වහන්සේ සිිරගත වුහ. දේශපාලන සිරකරුවකු ලෙස ඉතා දීර්ඝ කාලයක් මැගසින් බන්ධනාගාරයේ කල්ගත කිරීමට උන්වහන්සේට සිදුවිය.
ගුණදාස අමරසේකර
ඤාණසීහ හිමි වඩා ප්‍රසිද්ධ වුයේ රැඩිකල් දේශපාලන ක්‍රියාධරයකු ලෙස මිස සාහිත්‍යධරයකු ලෙස නොවේ. ලංකාවේ නිල සාහිත්‍යකලා කථිකාව තුළ උන්වහන්සේ ගේ සාහිත්‍ය කලා මතවාද පිළිබඳ එතරම්
ඇගයීමක්ද සිදු වී නැත. මේ අඩුපාඩුව දැක තිබෙන ගුණදාස අමරසේකර ඤාණසීහ හිමියන් ගේ සාහිත්‍ය විචාර මතවාද පිළිබඳ ඇගයීමක් ඔහු ලියූ 'සිංහල කාව්‍ය සම්ප්‍රදාය' කෘතියට එකතු කිරීම මේ විසල් සාහිත්‍ය ධරයා වෙනුවෙන් කරන ලද වටිනා උපහාරයකි.

කරූ පරණවිතාන

