විසිවන සියවසේ බුද්ධිමය ඉතිහාසය දෙස බලන විට සිමොන් ද බෝවා (Simone de Beauvoir) යනු හුදෙක් ලේඛිකාවක හෝ දාර්ශනිකාවක පමණක් නොවේ. ඇය මානව නිදහස සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සාම්ප්‍රදායික දැක්ම රැඩිකල් ලෙස වෙනස් කළ විප්ලවීය චරිතයකි.
ප්‍රංශ ජාතික අස්තිත්වවාදී (Existentialist) දාර්ශනිකාවක ලෙස ඇය ඉතිරි කර ඇති උරුමය නූතන ස්ත්‍රීවාදයේ "මව් රැජින" ලෙස ඇයව අභිෂේක කිරීමට සමත් වී තිබේ. ඇගේ ජීවිතය ඇගේ දර්ශනයේ ම දිගුවක් වූ අතර, ඇය ප්‍රසිද්ධ දාර්ශනික ජීන් පෝල් සාත්‍රේ (Jean-Paul Sartre) සමඟ පැවැත්වූ දශක පහකට වැඩි කාලයක් පුරා දිව ගිය ආන්දෝලනාත්මක "විවෘත සබඳතාව" (Open Relationship) සහ විවාහය ප්‍රතික්ෂේප කිරීම එකල පැවති මධ්‍යම පන්තික සදාචාර පද්ධතියට එල්ල කළ මරු පහරක් විය.
පවුල් පසුබිම සහ මුල් ජීවිතය: මධ්‍යම පන්තික සීමා මායිම් සහ අදේවවාදයට නැඹුරු වීම
1908 ජනවාරි 9 වන දින පැරිස් නුවර දී සිමොන් ලුසී අර්නස්ටයින් මාරි බර්ට්‍රන්ඩ් ද බෝවා උපත ලැබුවා ය. ඇය උපත ලැබුවේ දැඩි කතෝලික සහ මධ්‍යම පන්තික (Bourgeois) වටපිටාවක හැදී වැඩුණු පවුලක ය. ඇගේ පියා වූ ජෝර්ජ් බර්ට්‍රන්ඩ් ද බෝවා නීතිඥයකු වූ අතර ඔහු කලාවට සහ රංගනයට දැඩි ළැදියාවක් දැක්වූවෙකි. ඇගේ මව ෆ්‍රැන්සුවා බෝවා ධනවත් බැංකුකරුවකු ගේ දියණියක වූ අතර ඇය දැඩි ආගමික භක්තිවන්තියක වූවා ය. සිමොන්ට හෙලේන් ද බෝවා (Poupette) නම් සහෝදරියක ද විය.
බෝවාගේ ළමා කාලය ඇගේ පසුකාලීන දාර්ශනික චින්තනය හැඩගැස්වීමේ දී තීරණාත්මක බලපෑමක් ඇති කළේ ය. ඇගේ පියා ඇගේ බුද්ධිමය කුසලතා අගය කළ අතර, "සිමොන්ට ඇත්තේ පිරිමියකු ගේ මොළයක්; ඇය සිතන්නේ පිරිමියකු ලෙසයි" යනුවෙන් ඔහු නිතර පැවසී ය. මෙම ප්‍රකාශය තුළින් ඇඟවුම් කෙරුණේ බුද්ධිය යනු පුරුෂ ලක්ෂණයක් බව එකල පැවති මතය වුව ද, එය බෝවාට සිය ස්ත්‍රී භූමිකාවෙන් ඔබ්බට ගිය බුද්ධිමය ලෝකයකට ඇතුළු වීමට උත්තේජනයක් විය. කෙසේ වෙතත්, පළමු ලෝක යුද්ධයෙන් පසු ඇගේ පවුලට සිය ධනය අහිමි වීමත් සමග ඇයට දායාදයක් (Dowry) ලබා දීමට පියාට නොහැකි විය. මෙම ආර්ථික පසුබෑම බෝවා ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූයේ, දායාදයක් නොමැති තරුණියකට විවාහයක් කර ගැනීම එකල අසීරු වූ බැවින් ඇයට සිය ජීවනෝපාය සඳහා අධ්‍යාපනය ලැබීමටත්, ආර්ථික වශයෙන් ස්වාධීන වීමටත් බල කෙරුණු බැවිනි.
වයස අවුරුදු 14 දී බෝවා සිය ආගමික විශ්වාස අතහැර දැමූ අතර ඇය තමන් අදේවවාදියකු (Atheist) ලෙස ප්‍රකාශ කළා ය. ඇය සිය "Memoirs of a Dutiful Daughter" කෘතියේ සඳහන් කරන පරිදි, ඇගේ පියා ගේ ලෞකික සදාචාරය සහ මවගේ දැඩි ආගමිකත්වය අතර පැවති අසමතුලිතතාව ඇයව බුද්ධිමය ගවේෂණයකට යොමු කළ ප්‍රධාන සාධකය විය. ඇය සිය ජීවිත කාලය පුරාම අදේවවාදියකු ලෙස සිටි අතර, ඇය විශ්වාස කළේ "ඇදහිල්ල යනු මිනිසා තමන් මුහුණ දෙන දුෂ්කරතාවලින් පලා යෑමට සොයා ගන්නා නිවට ක්‍රමයක්'' ලෙස ය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ ජීන් පෝල් සාත්‍රේ හමුවීම
සිමොන් ද බෝවා අතිශය දීප්තිමත් ශිෂ්‍යාවක වූවා ය. ඇය සිය මුල් අධ්‍යාපනය කතෝලික පාසලක් වූ "Institut Adeline Désir" හිදී ලැබූ අතර, එහි දී ඇයට එලිසබෙත් මැබිල් (Zaza) නම් සමීප මිතුරියක මුණගැසුණි. ඔවුන් දෙදෙනා ම එකල කාන්තාවන් ගෙන් අපේක්ෂා කෙරුණු සාම්ප්‍රදායික රාමුවලට එරෙහිව කැරලි ගැසූහ. 1929 දී සාසා ගේ හදිසි මරණය බෝවාගේ ජීවිතයේ දැඩි ශෝකජනක සිදුවීමක් වූ අතර, ඇය විශ්වාස කළේ සාසා මිය ගියේ සමාජයේ පටු සම්මුතිවල එරෙහිව කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස බවයි.
1925 දී ඇය ගණිතය සහ දර්ශනය පිළිබඳ උසස් විභාග (Baccalauréat) සමත් වූවා ය. අනතුරුව ඇය සාර්බෝන් (Sorbonne) විශ්වවිද්‍යාලයේ දර්ශනය හැදෑරීමට ඇතුළත් වූවා ය. 1929 දී ඇය ප්‍රංශයේ වඩාත්ම තරගකාරී පශ්චාත් උපාධි විභාගය වූ "Agrégation" සඳහා පෙනී සිටි අතර, එහි දී ඇය දෙවැනි ස්ථානය දිනා ගත්තා ය. එකල ඇය එම විභාගය සමත් වූ ලොව ළාබාලතම පුද්ගලයා වූ අතර (වයස 21), එම විභාගය සමත් වූ අටවන කාන්තාව ද වූවා ය. එම විභාගයට සූදානම් වන අතරතුර ඇයට ජීන් පෝල් සාත්‍රේ (Jean-Paul Sartre) මුණගැසුණි. ඔවුන් දෙදෙනා අතර ඇති වූ බුද්ධිමය බැඳීම ඉතා ප්‍රබල වූ අතර, සාත්‍රේ ඇයට "Beaver" (ප්‍රංශ බසින් Castor) යන අන්වර්ථ නාමය ලබා දුන්නේ ය. සාත්‍රේ බෝවාට සිය බුද්ධිමය සමානයකු ලෙස සැලකූ අතර, ඔවුන් ගේ සම්බන්ධතාව වසර 50 කට අධික කාලයක් පුරා බුද්ධිමය සහ ප්‍රේම සම්බන්ධතාවයක් ලෙස පැවතියේ ය.

විවාහය ප්‍රතික්ෂේප කිරීම සහ විවෘත සබඳතාවේ දර්ශනය
බෝවා සහ සාත්‍රේ අතර වූ සබඳතාව ලෝක ඉතිහාසයේ වඩාත්ම විකල්ප සහ ආන්දෝලනාත්මක සබඳතාවක් ලෙස සැලකේ. සාත්‍රේ ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළ ද, ඇය එය ප්‍රතික්ෂේප කළා ය. ඇය විශ්වාස කළේ විවාහය යනු පිරිමියා විසින් කාන්තාව සිය දේපළක් ලෙස සලකන, ඇගේ නිදහස අහුරා දමන "අසභ්‍ය" සහ "අන්තරායකර" ආයතනයක් බවයි. ඇයට කිසි දිනෙක දරුවන් ලැබීමට අවශ්‍ය නොවූ අතර, ඇය එය සිය බුද්ධිමය ජීවිතයට බාධාවක් ලෙස සැලකුවා ය.
ඔවුන් දෙදෙනා අතර වූ එකඟතාවය වූයේ "අත්‍යවශ්‍ය ප්‍රේමයක්" (Essential Love) පවත්වා ගනිමින්, අනෙකුත් පුද්ගලයින් සමඟ "අනියම් හෝ අතිරේක ප්‍රේම සබඳතා" (Contingent Love) පැවැත්වීමට එකිනෙකාට නිදහස ලබා දීම යි. මෙම සබඳතාවේ ප්‍රධාන ලක්ෂණ වූයේ:
*පූර්ණ විනිවිදභාවය: ඔවුහු සියලු පෞද්ගලික ලිංගික සබඳතා පිළිබඳව එකිනෙකාට වාර්තා කළහ.
*වෙන්ව ජීවත් වීම: ඔවුහු කිසි දිනෙක එකම වහලක් යට ස්ථිරව ජීවත් නොවූහ.
*බුද්ධිමය සහයෝගීතාව: ඔවුහු එකිනෙකාගේ නිර්මාණවල පළමු විවේචකයෝ සහ උපදේශකයෝ වූහ.
මෙම විවෘත සබඳතාවය එකල පැවති මධ්‍යම පන්තික සදාචාරයට විශාල කම්පනයක් විය. බෝවා පවසා ඇත්තේ විවාහය කාන්තාව මූල්‍යමය වශයෙන් පිරිමියා මත යැපීමට සලස්වන අතර පිරිමියාට සිය බිරිඳ අතහැර දැමීමට ඕනෑම මොහොතක අවස්ථාව ලබා දෙන බවයි. ඇය සිය ජීවිතය තුළින් ම පෙන්වා දුන්නේ කාන්තාවකට විවාහයකින් තොරව සාර්ථක සහ අර්ථවත් ජීවිතයක් ගත කළ හැකි බවයි.

ආන්දෝලනාත්මක ප්‍රේම සබඳතා සහ රහස් ලිංගික ජීවිතය
සිමොන් ද බෝවා ගේ පෞද්ගලික ජීවිතය ඇගේ දර්ශනයටත් වඩා සංකීර්ණ විය. ඇය ද්විලිංගික (Bisexual) කාන්තාවක වූ අතර, පිරිමින් මෙන්ම කාන්තාවන් සමග ද සමීප සබඳතා පැවැත්වූවා ය.
බියන්කා ලැම්බ්ලින් සහ නටාලි සොරොකින්: "අපකීර්තිමත් ගනුදෙනුව" බෝවා 1930 ගණන්වල අගභාගයේ දී සිය ශිෂ්‍යාවන්ව ලිංගිකව පොළඹවා ගැනීම සහ පසුව ඔවුන්ව සාත්‍රේ වෙත යොමු කිරීම පිළිබඳව බරපතළ චෝදනා එල්ල වී ඇත. බියන්කා ලැම්බ්ලින් (Bianca Lamblin) නම් ශිෂ්‍යාව සිය "A Disgraceful Affair" නම් කෘතියෙන් හෙළි කළේ වයස අවුරුදු 17 දී බෝවා ඇයව ලිංගිකව අපයෝජනය කළ බවයි. පසුව බෝවා ඇයව සාත්‍රේ වෙත හඳුන්වා දුන් අතර ඔවුන් තිදෙනා අතර සබඳතාවක් පැවතියේ ය. දෙවන ලෝක යුද්ධය අතරතුර බියන්කා යුදෙව් ජාතිකයකු වීම හේතුවෙන් අනතුරට ලක්ව සිටිය දී බෝවා සහ සාත්‍රේ ඇයව අතහැර දැමූ ආකාරය බියන්කා විසින් දැඩි ලෙස විවේචනය කර ඇත.

නටාලි සොරොකින් (Nathalie Sorokine) නම් තවත් 17 හැවිරිදි ශිෂ්‍යාවක සමග පැවැත්වූ සබඳතාවක් හේතුවෙන් 1943 දී බෝවාගේ ගුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා ම අහෝසි කෙරුණි. නටාලි ගේ මව විසින් බෝවාට එරෙහිව එල්ල කළ "බාල වයස්කාරියකගේ සදාචාරය දූෂණය කිරීමේ" චෝදනාව මත මෙම දඬුවම ක්‍රියාත්මක විය.
නෙල්සන් ඇල්ග්‍රන් සහ ක්ලෝඩ් ලාන්ස්මන් සමඟ ප්‍රේම සබඳතා
සාත්‍රේ සමග වූ සබඳතාවයට අමතරව බෝවා ගේ ජීවිතයේ වැදගත් වූ අනෙකුත් පිරිමින් වූයේ ඇමරිකානු ලේඛක නෙල්සන් ඇල්ග්‍රන් (Nelson Algren) සහ ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ ක්ලෝඩ් ලාන්ස්මන් (Claude Lanzmann) ය. ඇල්ග්‍රන් සමග ඇය පවත්වාගෙන ගිය සබඳතාව ඉතා හැඟීම්බර වූවකි. ඇය ඔහුට ලියූ ලිපිවල ඔහුව "මගේ ආදරණීය සැමියා" ලෙස හැඳින්වූවා ය. කෙසේ වෙතත්, සාත්‍රේ අතහැර ඇමරිකාවට යෑමට ඇයට නොහැකි වූ බැවින් එම සබඳතාව බිඳී ගියේ ය.
Claude Lanzmann
ක්ලෝඩ් ලාන්ස්මන් යනු බෝවා සිය වැඩිහිටි ජීවිතය තුළ එකට ජීවත් වූ එකම පිරිමියා ය. ඔවුන් 1952 සිට 1959 දක්වා වසර හතක් එකට ජීවත් වූ අතර ලාන්ස්මන් බෝවාට වඩා අවුරුදු 18 ක් බාල විය. බෝවා සහ ලාන්ස්මන් අතර පැවති දැඩි ප්‍රේමය ඇය ඔහුට ලියූ ලිපි 112 ක් මගින් මෑතකදී හෙළි විය. එම ලිපිවල ඇය පවසා ඇත්තේ ලාන්ස්මන් ඇගේ "පළමු පරම ප්‍රේමය" බවත්, සාත්‍රේ සමඟ ඇයට කිසි දිනෙක නොලැබුණු ශාරීරික තෘප්තියක් ඔහුගෙන් ලැබුණු බවත් ය. මීට අමතරව 1930 ගණන්වලදී ඔල්ගා කොසකීවික්ස් (Olga Kosakiewicz) නම් ශිෂ්‍යාව සමග ද සාත්‍රේ සහ බෝවා "තිදෙනෙකුගේ සබඳතාවක්" (Trio) පවත්වා ඇත.
බලවත් කාන්තාවක් වූ ආකාරය: "The Second Sex" සහ බුද්ධිමය විප්ලවය :
සිමොන් ද බෝවා ලෝක ප්‍රසිද්ධ බලවත් කාන්තාවක් බවට පත් වූයේ ඇගේ දක්ෂතාවය සහ අභීත ලේඛනය හරහාය. 1949 දී ඇය පළ කළ "The Second Sex" (Le Deuxième Sexe) ග්‍රන්ථය නූතන ස්ත්‍රීවාදයේ පදනම ලෙස සැලකේ. මෙම පොත මගින් ඇය පිරිමියා විසින් කාන්තාව "අනෙකා" (The Other) ලෙස නම් කරන ආකාරය සහ ඇයව ද්විතීයික තත්ත්වයකට ඇද දමන ආකාරය විග්‍රහ කළාය.

ඇගේ වඩාත්ම ජනප්‍රිය පාඨය වූයේ,
"ගැහැනියක් ලෙස උපදින්නේ නැත, ගැහැනියක් බවට පත් කරනු ලැබේ" (One is not born, but rather becomes, a woman) යන්නයි.
මෙයින් ඇය අදහස් කළේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය (Gender) යනු ස්වාභාවික දෙයක් නොව සමාජය විසින් ගොඩනගන ලද නිර්මාණයක් බවයි. ඇය පෙන්වා දුන්නේ කුඩා කල සිටම ගැහැනු ළමයින්ට තෑගි කරන බෝනික්කන් ගේ සිට ඔවුන්ට උගන්වන සිරිත් විරිත් දක්වා සියල්ල ඔවුන්ව යටහත් පහත් චරිතයක් බවට පත් කිරීමට සකස් කර ඇති බවයි.
මෙම ග්‍රන්ථය එකල විශාල කම්පනයක් ඇති කළේ ය. පළමු සතිය තුළ පිටපත් 22,000 ක් අලෙවි වූ අතර, ඇල්බට් කැමූ (Albert Camus) වැනි සමකාලීන ලේඛකයින් පවා ඇයව විවේචනය කළහ. කෙසේ වෙතත්, මෙය ලොව පුරා කාන්තාවන්ට තමන්ව සහ සිය සබඳතාවල පවතින අසමානතාවය තේරුම් ගැනීමට නව ශබ්දකෝෂයක් ලබා දුන්නේය.
දේශපාලන ක්‍රියාකාරීත්වය සහ "343 දෙනාගේ ප්‍රකාශනය" (Manifesto of the 343)
බෝවා හුදෙක් කාමරයකට වී පොත් ලියූ දාර්ශනිකාවක නොවූවා ය. ඇය සමාජ අසාධාරණයන්ට එරෙහිව පාරට බැස සටන් කළ ක්‍රියාකාරිනියක වූවාය. 1971 දී ඇය "Manifesto of the 343" නම් ඓතිහාසික ප්‍රකාශනය කෙටුම්පත් කළා ය. එකල ප්‍රංශයේ ගබ්සාව නීතිවිරෝධී වූ අතර, මෙම ප්‍රකාශනය මගින් බෝවා ඇතුළු ප්‍රසිද්ධ කාන්තාවන් 343 දෙනකු තමන් නීතිවිරෝධී ලෙස ගබ්සාවක් කරගත් බව ප්‍රසිද්ධියේ පිළිගත්තෝය.
මෙය ඉතා අවදානම් සහගත ක්‍රියාවක් වූයේ ඒ වෙනුවෙන් ඔවුන්ට සිර දඬුවම් ලැබීමට ඉඩ තිබූ බැවිනි. බෝවා සැබවින් ම ගබ්සාවක් කර නොතිබුණ ද, අනෙකුත් කාන්තාවන් ගේ අයිතිය වෙනුවෙන් ඇය එම ප්‍රකාශනයට අත්සන් කළා ය. මෙමගින් ඇති වූ සමාජ කම්පනය හේතුවෙන් 1975 දී ප්‍රංශයේ ගබ්සාව නීතිගත කිරීමට රජයට සිදු විය. මීට අමතරව ඇය ඇල්ජීරියාවේ නිදහස් අරගලයට සහය දුන් අතර, ප්‍රංශ හමුදා විසින් ඇල්ජීරියානු කාන්තාවන්ට සිදු කළ වධහිංසා පැමිණවීම්වලට එරෙහිව හඬ නැගුවාය.
බෝවා මුල් කාලයේදී තමන්ව "ස්ත්‍රීවාදිනියක" ලෙස හඳුන්වා නොදුන් නමුත්, 1972 දී ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමන් ස්ත්‍රීවාදිනියක බවයි. ඇය විශ්වාස කළේ කාන්තාවන්ට නිදහස ලැබිය හැක්කේ සමාජවාදී විප්ලවයක් හරහා පමණක් බව වුවත්, පසුව ඇය අවබෝධ කර ගත්තේ ස්ත්‍රීවාදී අරගලය ඒ තුළම සුවිශේෂී විය යුතු බවයි.
පසුකාලීන ජීවිතය, සිල්වී ලේ බොන් දරුකමට හදා ගැනීම සහ මරණය:
සිමොන් ද බෝවාට ජීව විද්‍යාත්මක දරුවන් සිටියේ නැත. කෙසේ වෙතත්, 1960 දී ඇයට 19 හැවිරිදි සිල්වී ලේ බොන් (Sylvie Le Bon) නම් ශිෂ්‍යාව මුණගැසුණි. ඔවුන් දෙදෙනා අතර ඉතා සමීප බුද්ධිමය සහ පෞද්ගලික සබඳතාවක් ගොඩනැගුණු අතර බෝවා ඇයව සිය "පරමාදර්ශී සහකාරිය" ලෙස හැඳින්වූවා ය. 1980 දී සාත්‍රේ ගේ මරණයෙන් පසු, බෝවා සිල්වීව නීත්‍යානුකූලව දරුකමට හදා ගත්තා ය. මෙහි ප්‍රධාන අරමුණ වූයේ ඇගේ මරණයෙන් පසු ඇගේ සාහිත්‍යමය උරුමය කළමනාකරණය කිරීමේ අයිතිය සිල්වීට ලබා දීමයි. සමහර විචාරකයින් පවසන්නේ ඔවුන් අතර සමලිංගික සබඳතාවක් පැවති බව වුවත්, බෝවා එය "නිරපේක්ෂ සබඳතාවක්" ලෙස හැඳින්වූවා ය.
සිමොන් ද බෝවා 1986 අප්‍රේල් 14 වන දින අභාවප්‍රාප්ත වූවා ය. ඇයව මිහිදන් කරනු ලැබුවේ පැරිසියේ මොන්ට්පර්නාසේ සොහොන් බිමේ ඇගේ සදාකාලික සහකරු වූ ජීන් පෝල් සාත්‍රේ ගේ සොහොනට පසෙකිනි. ඇගේ මරණයෙන් පසු ඇය ලියූ පෞද්ගලික ලිපි සහ දිනපොත් පළ වූ අතර, එමගින් ඇගේ චරිතයේ පැවති සංකීර්ණ සහ ආන්දෝලනාත්මක පැති ලෝකයට හෙළි විය.
පසු සටහන:
සිමොන් ද බෝවා යනු පරස්පර විරෝධයන්ගෙන් පිරි චරිතයකි. එක් අතකින් ඇය කාන්තා නිදහසේ අසහාය නායිකාව වූ අතර, අනෙක් අතින් ඇගේ පෞද්ගලික සබඳතාවල දී ඇය සිය බලය උපයෝගී කරගෙන තරුණ ශිෂ්‍යාවන්ව සූරාකෑමට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇත. ඇය සාත්‍රේ සමග පැවැත්වූ විවෘත සබඳතාව තුළ ඇය දැඩි මානසික පීඩනයකට සහ ඊර්ෂ්‍යාවකට ලක් වූ බව ඇගේ ලිපි මගින් හෙළි වේ.
එසේ වුව ද, ඇය විසින් ඉදිරිපත් කරන ලද දාර්ශනික සංකල්ප සහ ඇය සිදු කළ දේශපාලන මැදිහත්වීම් ලෝකයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ගමන් මග වෙනස් කළ බව ප්‍රතික්ෂේප කළ නොහැකි ය. ඇය බලවත් කාන්තාවක් බවට පත් වූයේ ඇගේ උරුමයෙන් ලැබුණු ධනය නිසා නොව, ඇගේ තියුණු බුද්ධිය සහ පවතින සමාජ ක්‍රමය ප්‍රශ්න කිරීමට තිබූ ධෛර්යය නිසා ය.
විවාහය සහ මාතෘත්වය ප්‍රතික්ෂේප කරමින් ඇය තෝරාගත් ස්වාධීන ජීවන රටාව, අදටත් ලොව පුරා කාන්තාවන්ට සිය අභිමතය පරිදි ජීවිතය හැඩගස්වා ගැනීමට විශාල පෙළඹවීමක් ලබා දෙයි. ඇය පෙන්වා දුන් ආකාරයට, "ගැහැනියකගේ වටිනාකම තීරණය වන්නේ ඇගේ විවාහය හෝ දරුවන් මත නොව, ඇය සිය නිදහස භාවිතා කර ලෝකයට සිදු කරන බලපෑම මතය."

චානු නිමේෂා
මූලාශ්‍ර:
Simone de Beauvoir (1908-1986) | Towards Emancipation? - hist259.web.unc.edu
Simone de Beauvoir | Britannica
SIMONE DE BEAUVOIR'S POLITICS OF LOVE - Sophia College
What Simone de Beauvoir and Jean-Paul Sartre taught me about love | Dazed
Simone de Beauvoir: Biography - biography.com
Simone de Beauvoir - Wikipedia
Simone de Beauvoir - Stanford Encyclopedia of Philosophy
Simone de Beauvoir - Connexipedia
Simone de Beauvoir - nvcc.edu
Biography - Contemporary Thinkers
'You are my destiny': Simone de Beauvoir's love letters - The Guardian
Simone de Beauvoir - Internet Encyclopedia of Philosophy
Bianca Lamblin - Wikipedia
A Disgraceful Affair: Simone de Beauvoir, Jean-Paul Sartre, and Bianca Lamblin - Goodreads
Natalie Sorokin - Wikipedia
Simone de Beauvoir: the power of intellectual advocacy - Ness Labs
Collection of Simone de Beauvoir's Love Letters - Smithsonian Mag
Claude Lanzmann Talks About de Beauvoir - Columbia News
The Second Sex - Philosophy Now
Simone de Beauvoir - The Decision Lab
Simone De Beauvoir and The Second Sex: Fifty years on - sfu.ca
Manifesto of the 343 - Wikipedia / Feminism in India / JSTOR Daily
Sylvie Le Bon-de Beauvoir - Wikipedia
Heterodox Love: Simone de Beauvoir and Sylvie le Bon - Project MUSE

